- හිටපු ජනාධිපති කට ඇරියොත් කියන්නෙ බොරු… ඒක එතුමගෙ පුරුද්දක්… හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර
පූජිත් ජයසුන්දර
පසුගිය කාලයේ ආන්දෝලනාත්මක ප්‍රකාශ කළ නාමල් කුමාර නැමැත්තාට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් වැටුප් ගෙවා ඇති බව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර අද පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින් අනාවරණය කළේය.
කොමිසම හමුවේ මෙතෙක් හෙළි නොකළ තවත් කරුණු බොහෝමයක් තමා සතුව තිබෙන බව පූජිත් ජයසුන්දර වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (9) පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසමේ නව වෙනි දිනටත් සාක්ෂි දෙමිනි.
මෙහිදී හිටපු අභියාචනාධිකරණ විනිසුරුවරයා පූජිත් ජයසුන්දරව ප්‍රශ්න කළේය.
ප්‍රශ්නය – ප්‍රහාරයක් එල්ල කරනවා කියා අප්‍රේල් 4 වැනිදා පමණ වැදගත් තොරතුරු ලැබිලත් හිටපු ජනාධිපති තුමා කියපු විදිහට එතුමා රට යනවිට එම ගුවන් යානයටත් නැග්ග ඔබ ඇයි මේ ගැන එතුමාට කිව්වෙ නැත්තේ ?.
පිළිතුර – මම එදා එතුමට ගුවන් තොටුපලේ දි ආචාර කළා තමයි. හැබැයි ඔය කියන විදහට ගුවන් යානයට මම ගොඩඋනේ නෑ. එතුමා ලඟ ඉඳගෙන කතා කළෙත් නෑ. මම හොඳින්ම දන්නවා එතුමා මා කෙරෙහි ලොකු අප්‍රසාදයකින් සිටියෙ. මම එතුමට කතා කළත් ඇයි මොකද කියලා අහක බලාගෙන අහන්නෙ. ඒ නිසා මම එතුමට වැඩිය කතා කරන්න යන්නෙ නෑ. කතා කරන එක එතුමා මගහරිනවා.
ප්‍රශ්නය – ජයසුන්දර මහත්තයා… එතුමා කීවෙ ඔබ එතුමගෙ නිවසට පැමිණ දහවල් කාලා පැය දෙකක් පමණ කාලය ගත කරලත් ගියේ කියලා. ඒත් හිටපු ජනාධිපතිතුමා කියන්නේ මේ ගැන කිසිවක් ඔබ එතුමාට නොකී බවයි.
පිළිතුර – ස්වාමිනී..
ඒක අමුලික පට්ටපල් බොරුවක්. මම එහි හිටියෙ විනාඩි 20ක් වැනි සුළු කාලයක් විතරයි. මම යනවිට ළමයි පිරිසක් පැමිණ හිටියා. අවුරුද්දට මම ගිහින් බුලත් දුන්නට එක වචනයක්වත් කතා කළේ නෑ… එතුමා එහෙම මා සමග කතා කරන්නෙත් නෑ, දවල්ට කන්න තියා වතුර උගුරක්වත් නොබී මම ආපසු පැමිණියා ස්වාමීනි.
ප්‍රශ්නය -ඒ කියන්නෙ හිටපු ජනාධිපතිතුමා කියන්නෙ බොරු කියලා කියන එක ද?
පිළිතුර – ස්වාමීනි. පුරුද්දක් හැටියට හිටපු ජාධිපතිතුමා බොරු කියනවා. ඒක එතුමගෙ පුරුද්ද.
ප්‍රශ්නය – ඔබ හෙළි නොකරපු තව මොනවද කියන්න තියෙන්නෙ.
පිළිතුර – තාම එළියට දාපු නැති ගොඩාක් දේ තියනවා. ස්වාමිනි. ඒ අතරින් එකක් තමයි නාමල් කුමාරගේ සිද්ධිය. ඔය නාමල් කුමාර කියන කෙනාට ජනාධිපති කාර්යාලයෙන් වැටුප් ගෙවලත් තියනවා. නාමල් කුමාර වැනි කිසිම සුදුසුකමක් නැති පුද්ගලයෙකුට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් වැටුප් ගෙව්වෙ කුමණ පදනමකින්ද කියලා සොයා බලන්න ඕන.