පාසල් සිසුන් සඳහා විශේෂයෙන් සැකසූ සුරක්ෂා රක්ෂණ ක්‍රමය යටතේ ලබා දී ඇති ඇතැම් රක්ෂණ ප්‍රතිලාභ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සීමා කර ඇති බව සන්ඩේ ටයිම්ස් පුවත් වාර්තා කරයි.
ඒ අනුව, පාසල් දරුවන්ගේ මව්පියන්ගේ මරණයකදී ගෙවනු ලබන ප්‍රතිලාභ මසකට රුපියල් 15,000 ට වඩා අඩු ආදායමක් ලබන අඩු ආදායම්ලාභී පවුල් සඳහා පමණක් ගෙවීමට සීමා කර ඇත. මීට පෙර ඔවුන්ගේ පවුල්වල ආදායම් මට්ටම නොසලකා සැමට ප්‍රතිලාභ ලබා ගත හැකි වී තිබුණි.
එමෙන්ම මීට පෙර බරපතළ රෝගාබාධ සඳහා උපරිම සීමාවක් නොතිබූ නමුත් දැන් එය රුපියල් මිලියන 1.5 දක්වා සීමා කර ඇත.
පසුගිය වසරේ දෙසැම්බරයේ සිට බලපැවැත්වෙන මෙම වෙනස පිළිබඳව තමන් නොදන්නා බවත් බොහෝ මව්පියන් චෝදනා කර ඇත.
සන්ඩේ ටයිම්ස් වෙත අධ්‍යාපන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පවසා ඇත්තේ කොවිඩ් වසංගතය හේතුවෙන් බොහෝ විට පාසල් වසා තිබූ බැවින් ඔවුන්ට එම තොරතුරු මාපියන්ට ලබා දිය නොහැකි වූ බවය.
ඇතැම් මව්පියන් තමන් සම්පූර්ණ රක්ෂණ ආවරණයක් යටතේ සිටින බව විශ්වාස කරමින් තම දරුවන්ට ප්‍රතිකාර ලබාගෙන ඇති නමුත් පසුව දැනගන්නට ලැබී ඇත්තේ මෙම යෝජනා ක්‍රමය සංශෝධනය කර ඇති බවයි.
පසුගිය වසරේ සිට මේ දක්වා සිසුන් 5,000 කට වැඩි පිරිසක් සුරක්ෂා රක්ෂණ ක්‍රමය යටතේ ගෙවීම් අපේක්ෂාවෙන් සිටින බව ද එහි සඳහන් වේ.
එහෙත් රජය විසින් ගෙවීම් සඳහා අවශ්‍ය රුපියල් මිලියන 300 කට වැඩි ප්‍රමාණයක් තවමත් නිදහස් කර නොමැති බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් උපුටා දක්වමින් සන්ඩේ ටයිම්ස් පැවැසීය.