පාර්ලිමේන්තුවේ දී පාර්ලිමේන්තු සේවිකාවන්ට සිදුවන ලිංගික අතවර සම්බන්ධව වඩාත් වගකීමකින් යුතුව සොයා බලන්නැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා අද (07) කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.
මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුව තුළ පාර්ලිමේන්තු සේවිකාවන්ට සිදුවන ලිංගික අතවර සිදුවීම් සමස්ථ පාර්ලිමේන්තුවේ ගෞරවයටත් පාර්ලිමේන්තු නියෝජිතයන්ටත් බලපාන බවය. මන්ත්‍රීවරයා මේ සම්බන්ධව දීර්ඝ විස්තරයක් කරද්දී පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණධීර එම චෝදනා ප්‍රතික්ෂේප කළ අතර එවැනි පැමිණිලි ලැබී නැති බව ද කීවාය.
මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා සිද්ධිය මතුකළේ මෙසේය.
“පහුගිය සති කීපය තුළ විශේෂයෙන්ම ජනමාධ්‍යවල වාර්තා වුනා පාර්ලිමේන්තුවේ කාන්තා නිලධාරිනියන්ට සිදුවන ලිංගික අතවර ගැන. ප්‍රධාන ලේකම් තුමිය යම් යම් ක්‍රියාමාර්ග අරන් තියනවා. සමහර අයගේ වැඩ තහනම් කරලා තියනවා. සමහර අය විශ්‍රාම ගන්වලා තියනවා.”
“ඒ වගේම ගරු කතානායකතුමනි. අයි.ටී සෙක්ෂන් එකේ කාන්තාවන්ට නිතර නිතර ලිංගික අතවර කරන්න එහි සිටින බලධාරීන් විසින් කටයුතු කරනවා කියන පැමිණිල්ල තමයි වාර්තා වෙලා තියෙන්නේ. මේ සම්බන්ධව පැමිණිලි රාශියක් ඇවිත් තියනවා. ”
“මම ඔබතුමාගෙන් ඉල්ලා සිටින්නේ මේ ගැන වහාම පරීක්ෂණයක් කරලා ක්‍රියාමාර්ග ගන්න කියලා. මොකද පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හැටියට මේ පාර්ලිමේන්තුවේ කාටහරි ලිංගික අතවර සිද්ධ වෙනවා නම් අනිවාර්යයෙන් මන්ත්‍රීවරු හැටියට අපිටත් ඒක බලපානවා.”
“ඒ හින්දා මම ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා මේ ගැන පරීක්ෂා කරලා පියවර ගන්න කියලා. ”
කථානායකවරයා – ඒ සම්බන්ධව අපට තොරතුරු වාර්තා වෙලා නෑ…. නමුත් සොයා බලා කටයුතු කරනවා.
පාර්ලිමේන්තු මහලේකම්වරිය – එහෙම සිද්ධියක් අයිටී සෙක්ෂන් එකෙන් වාර්තා වෙන්නේ නෑ…
මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා – ඩිපාර්ට්මන්ට් ඔෆ් ඉන්ෆොමේෂන් සිස්ටම් ඇන්ඩ් මැනේජ්මන්ට් කියලා යුනිට් එකක් තියනවා නේද… තියනවනේ… අන්න එකෙයි මේ වැඩේ වෙන්නේ.
පාර්ලිමේන්තු මහලේකම්වරිය කතානායකවරයාගේ අසුන වෙත ගොස් යමක් කීවාය.
කතානායකවරයා – එහෙම දෙයක් ගැන වාර්තා වෙලා නෑ මන්ත්‍රී තුමා







