පූර්ණ මුහුණු ආවරණ සහිතව අංක තහඩු රහිත යතුරුපැදිවලින් පාර්ලිමේන්තු පාර අසල උද්ඝෝෂණයට කඩා වැදුණු හමුදා යතුරුපැදිකරුවන් පැමිණ ඇත්තේ ඉහළ නියෝගයකින් යැයි ඔවුන් පැවසූ බවත්, ග්‍රෙනෙඩ් ලෝන්ජර් පවා සහිතව පැමිණි මෙම කණ්ඩායමෙන් පොලිසිය සමග ගැටුම ඇතිකරගත් යතුරුපැදිකරු හමුදා මේජර්වරයෙක් යැයි පසුව හෙළිවූ බවත් අභ්‍යන්තර විමර්ශන ආරංචි මාර්ග ලංකාසරට හෙළි කළේය.
වාර්තාවන පරිදි පෙළගැසෙන තොරතුරු මෙසේය.
එම යතුරුපැදිකරුවන් උද්ඝෝෂකයන් ඉදිරිපිට සහ උද්ඝෝෂකයන් මැදින් යමින් අටේ ඉලක්කම සලකුණු කරමින් තුන් වරක්ම උද්ඝෝෂණය වෙත ඇතුළුවීමට උත්සාහ කර ඇතැයි නිරීක්ෂණවලින් පැහැදිලි වී තිබේ. උද්ඝෝෂකයන් නොසන්සුන් වී ඇත්තේ මේ සන්දර්ශනයත් සමගය.
මේ නොසන්සුන්වීමත් සමග සිවුවන වරටත් මෙම හමුදා යතුරුපැදිකරුවන් උද්ඝෝෂකයන් අතරට වැදී ඇත. ඉන් තුනක්ම පොලිස් නිලධාරීන් ද හප්පාගෙන පිටවී යද්දී එක් යතුරුපැදියක් නවත්වා යතුර තමන් සන්තකයට කරගැනීමට පොලිසිය කටයුතු කර ඇත. ගැටුම ඇතිවන්නේ එම හමුදා යතුරුපැදිකරු සමගය.
පොලිසිය සමග ගැටුම ඇතිවන අවස්ථාවේ දී මෙම හමුදා යතුරුපැදිකරු මේජර්වරයෙක් බව හෙළි වී තිබේ. ඔහු පොලිසියට පවසා ඇත්තේ තමන් ඉහළ නියෝගයක් මත එම ස්ථානයට පැමිණි බවය.
ඒ තත්වය තුළ මෙම හමුදා යතුරුපැදිකරුවන් දෙපළ ද නිදහස් කිරීමට පොලිසියට සිදුවී ඇත.
මේ සිදුවිම මාධ්‍ය හා සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා වීමත් සමග යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරන්නේ හමුදා පුද්ගලයින් දෙදෙනෙකුට නුසුදුසු ලෙස කටයුතු කිරීම පිළිබඳ විනය පරීක්ෂණයක් කරන ලෙස යුද හමුදාපතිවරයාත්, ආරක්ෂක ලේකම්වරයාත්, පොලිස්පතිට සහ මහජන ආරක්ෂාව පිළිබඳ ඇමතිවරයාට ලිඛිතව දන්වා ඇති බවය.
පොලිසිය ද ඊයේ සවස නිවේදනයක් නිකුත් කරමින් සිද්ධිය පිළිබඳව ස්වාධීන පරීක්ෂණයක් පවත්වන බව කීවේය.
අද උදෑසන වනවිට එම යුද හමුදා යතුරුපැදිකරුවන් වළක්වමින් ස්ථානයේ රාජකාරි කළ සහකාර පොලිස් අධිකාරීවරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කිරීමට සූදානම් වී තිබේ. එම අවස්ථාවේ එම නිලධාරීන් සහ පොලිසියේ ඉහළ නිලධාරීන් අතර රටේ පවතින නීතිය සම්බන්ධව උණුසුම් සංවාදයක් ඇති වී තිබේ. මේ අනීතික කටයුත්ත නොකරන ලෙස පොලිසියේ සෑම තලයකින්ම ඉහළට බලපෑම් එල්ල වී ඇත.
ඒ අනුව වැඩ තහනමට ලක්වන්නට ගිය සහකාර පොලිස් අධිකාරීවරුන් දෙදෙනාගේ වැඩ තහනම් කිරීම නතර වී තිබේ.
එහෙත් යුද හමුදාව පොලිසියට දන්වා ඇත්තේ හමුදාවෙන් මෙම සිද්ධිය සම්බන්ධව විමර්ශනයක් පැවැත්වෙන බැවින් මෙම සහකාර පොලිස් අධිකාරීවරුන් දෙදෙනාට යුද හමුදාවේ විමර්ශන කණ්ඩායම ඉදිරියේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇත.
එම අවස්ථාවේ දී එම සහකාර පොලිස් අධිකාරීවරුන් යුද හමුදාවට දන්වා ඇත්තේ තමන් යුද හමුදාවේ විමර්ශන සඳහා ඉදිරිපත් නොවන බවත්, හමුදාවේ පරීක්ෂණ සඳහා පොලිසිය ඉදිරිපතවන නීතියක් නැති බවත් දන්වමනි. අවශ්‍යනම් විමර්ශන නිලධාරීන්ට සහකාර පොලිස් අධිකාරීවරුන්ගේ කාර්යාලයට පැමිණ ප්‍රකාශයක් ලබා ගත හැකි යැයිද ඔවුන් දන්වා ඇත.
මෙයත් කියවන්න…
උද්ඝෝෂණය මැදට කඩා වැදුණු හමුදා යතුරුපැදි නැවැත්වූ පොලිස් නිලධාරීන්ට විනය පරීක්ෂණ!







