දිනසේන රතුගමගේ –
හිටපු කොටි නායක වේලුපිල්ලේ ප්රභාකරන්ගේ මරණය සම්බන්ධයෙන් හෝ ඔහුගේ මරණය සම්බන්ධයෙන් පැවැත්වූ බව කියන ජාන පරීක්ෂණය සම්බන්ධයෙන් තමන්ට කිසිදු දැනීමක් නොමැති බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඊයේ (2) දා යාපනයේදි පැවසීය.
යාපනයේ නල්ලූර් හි පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක් වූ අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.
තමන්ට ප්රභාකරන්ගේ මරණය සම්බන්ධයෙන් හෝ ජාන පරීක්ෂාව සම්බන්ධයෙන් කිසිවෙකු කිසිම තොරතුරක් ප්‍රකාශ නොකල වගද හෙතෙම මෙහිදී සඳහන් කළේය.
සේනාධිනායකයා වූ එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ රටින් බැහැර වූ අවස්ථාවේදී වැඩ බලන සේනාධි නායකයා වූයේ තමන් බව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ප්‍රකාශ කොට තිබියදී ඒ ගැන කරුණු නොදන්නා බව කීම විහිලුවක් නොවේදැයි යාපනයේ මාධ්‍යවේදීන් විමසූ අවස්ථාවේදී ඔහු පවසුවේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඒ කාලයේ විදේශ රටක සිටියද යුද්ධයට ඔහු එම ස්ථාන වල සිට අණ දුන් බවය.
තමන් විසින් යුද සමයේදී කෙටි කාලයක් යුද්ධය මෙහෙයවන ලද බව මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා යාපනයේ පැවති මාධ්‍ය හමුවේදී යළිත් වරක් පිළිගන්නා ලදී.
”මම අවසන් යුද්දයේදී සති දෙකක් නියෝජ්‍ය ආරක්ෂක ඇමතිවරයා ලෙස කටයුතු කළා. මම ඒ ගැන කිසිම දෙයක් දන්නේ නැහැ. කවුරුත් මට ඒ ගැන මොකුත් කිව්වේ නෑ.තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත හරහා මීට අදාළ තොරතුරු ලබාගැනීමට මම උත්සාහ කළත් හමුදාව එය වළක්වා තිබුණා.”යනුවෙන්ද ඔහු මෙහිදී පැවසීය.







