බඩල් කුඹුර පස්සර ප්‍රධාන මාර්ගයේ අලුපොත ප්‍රදේශයෙන් හමුවූ හිස් කබල බොහෝවිට පිරිමි පුද්ගලයකුගේ විය හැකි බවට එහි ලක්ෂණ නිරූපණය කරන්නේ යැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.
මෙයට මාස 08 කට පෙර කොළඹ වේල්ලවීදියේදී ගමන් මල්ලකින් හමුවූ හිස නොමැති කාන්තා මළ සිරුරේ හිස දැයි යන සැකය තහවුරුකර ගැනීමට මේ පිළිබඳ විමර්ශන පැවැත්වෙන බව පොලීසිය සදහන් කරයි.
කෙසේවෙතත් මෙම හිස හමුවී ඇත්තේ එම ඝාතනයට සම්බන්ධ පොලිස් නිලධාරියාගේ නිවසේ සිට කිලෝ මීටර් 10 ක් පමණ දුරක කැළෑබද ප්‍රදේශයක දී ය.
හිස බොහෝ සේ දිරාපත්ව ඇති බැවින් එය මාස අටකට වඩා පැරණි බව විශ්වාස කරන බවයි.
පැහැදිලිවම එය කහවුරුකර ගැනීමට හැකියාව ලැබෙන්නේ අධිකරණ වෛද්‍යවරයෙකු විසින් කරනු ලබන විමර්ශනයකින් අනතුරුව බවත් උසස් පොලිස් නිලධාරියෙක් සදහන් කළේය.
පිරිමින්ගේ හිස කබලේ ඇස් කොටස හතරැස්ව විශාල ලෙස පිහිටියත් කාන්තාවන්ගේ ඇස් කොටස එසේ පිහිටන්නේ නොමැති බවත් එම නිලධාරියා කීය. බැලූ බැල්මටනම් මෙම හිස පිරිමි පුද්ගලයෙකුගේ ලක්ෂණ පෙන්නුම්කරන බවද එම නිලධාරියා කීය.
අදාල හිස් කබල හමුවූ ස්ථානයට ආසන්නයේ සුසාන භූමියක් ඇති බවත් එම සුසාන භූමිය අසලින් මෑතකදී මාර්ගයක් ඉදිකිරීමට සංවර්ධන කටයුත්තක් සිදුව ඇති බවත් සදහන්ය.
කෙසේ වෙතත් මෙම හිස සම්බන්ධයෙන් විද්‍යාත්මක විමර්ශනයක් පවත්වා අනතුරුව ඩී.එන්.ඒ පරීක්ෂණයක් සදහාද යොමු කිරීමට බලාපොරොත්තුවන බව එම නිලධාරියා වැඩිදුරටත් කීය.







