මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරක රට පකිස්තානය වීම නිසා එහි අවසන් තරගය ඇතුළු තරග වැඩි ගණනක් ලංකාවේ පවත්වන්නට යෙදුනද එහි අවාසිය වී ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ට බවට චෝදනාවක් එල්ල වෙයි.
බොහෝ ක්‍රිකට් ලෝලීන් පවසන්නේ මෙතෙක් ශ්‍රී ලංකාවේ අත් නොදුටු අධික මිළ ගණන්වලට ප්‍රවේශ පත්‍ර මුද්‍රණය කර තිබීම නිසා ඔවුන්ට මෙම අසාධාරණය අත් වූ බවයි.
අවම ප්‍රවේශ පත්‍රය රුපියල් අට දාහක් හා උපරිමය අනූ පන් දාහක් වන මෙම මිළ ගණන් සාමාන්‍ය අයට ඔරොත්තු නොදෙන බවත් මෙහි මුළු ලාභය පකිස්තානු ක්‍රිකට් බලධාරීන් භුක්ති විඳිද්දී ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් උඩ බලා සිටින බවත් ඔවුහු චෝදනා කරති.
පසුගිය ආසියානු කුසලාන තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට තිබුණද ඔවුන් එම අවස්ථාව ඩුබායි වෙත ලබා දී තිබුණි.
මේ අතර ලංකාසර ඇමතූ සාමාජික ක්‍රිකට් සමාජ කිහිපයකම නිලධාරීන් පැවසුවේ මෙතෙක් සෑම තරගයකම සභාපති හා ලේකම් වරයාට ලැබෙන ප්‍රවේශ පත්‍ර පවා අවසන් තරගයට ලබා දී ඇත්තේ භාණ්ඩාගාරික සුජීව ගොඩලියැද්දගේ කැමැත්ත අනුව බවය.
ඒ අනුව බොහෝ අනුබද්ධිත ක්‍රීඩා සමාජ හා සංගම් වලට වෙන් කර තිබූ ප්‍රවේශ පත්‍ර නාමාවලියෙන් කපා දමා ඇති බවට ඔවුහු චෝදනා කරති.
ආර්.ප්‍රේමදාස පිටියේ දිනපතා වියදම් කෙරෙන්නේ බස්නාහිර ක්‍රිකට් සංගමය හරහා වුවද එහි ලේකම්වරයාටවත් ප්‍රවේශ පත්‍රයක් ලබා දී නොමැති බව වාර්තා වේ.
මේ අතර අද ( 17) පැවැත්වෙන අවසන් තරගයේ ප්‍රවේශ පත්‍ර ලබා ගැනීමේ දැඩි අවශ්‍යතාව නිසා ප්‍රේමදාස පිටිය අවට කළු කඩ වෙළෙන්දන් අධික මිළ ගණන්වලට ප්‍රවේශ පත්‍ර අලෙවි කරන්නට සැලසුම් කර සිටින බවද වාර්තා වේ







