සිය නැන්දම්මා සහ මස්සිනා ඇතුළුව තවත් හිතවතුන් පිරිසක් ඔස්ට්‍රේලියාවේ පැවති විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය නැරඹීමට රැගෙන ගිය බව ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ශම්මි සිල්වා කෝප් කමිටුව හමුවේ ඊයේ පිළිගෙන තිබේ.
ශම්මි සිල්වා මේ චෝදනාව පිළි ගනු ලැබුවේ පසුගිය වසරේ ඔස්ට්‍රේලියාවේ පැවති 20යි 20 ලෝක කුසලාන තරගාවලියට එම ආයතනයේ නිර්දේශ සහිතව සහ එම ආයතනයෙන් සහභාගීවූවන්ට අදාළ විගණකාධිපතිවරයා නිකුත් කර තිබූ වාර්තාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිලධාරීන් කෝප් කමිටුව වෙත කැඳවූ අවස්ථාවේ දී ය.
විගණන වාර්තාවේ සඳහන් ආකාරයට සිය බිරිඳට වීසා ලැබුණේ ලෝක කුසලාන තරගාවලිය නිසා නොවන බවත් ඊට පෙර ඇය ඔස්ට්‍රේලියාවේ සිටි බවත් සභාපතිවරයා එහිදී සඳහන් කළේය.
තරගාවලියට ගෙන ගිය සෙසු පිරිස සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක ප්‍රශ්න කළේය. එහිදි දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා සභාපතිවරයාගෙන් ඉල්ලා සිටියේ, තමන් ගෙන ගිය පිරිස ප්‍රකාශ කරන ලෙසය.
“රොබට් සිල්වා කියන්නේ මගේ මස්සිනා ඩේසි ජෙනට් කියන්නේ මගේ බිරිඳගේ මව. ශ්‍රීමාල් ගුණරත්න මගේ හිතවතෙක්. නිෂාදි පද්මසිරි කියන්නේ එයාගේ බිරිඳ, සංජය සමරසිංහ කියන්නේ මගේ යාළුවෙක්. ආර්. ඒ ෂෙනුලා දිනූසිකා සහ සාරා දිනාලි කියන්නේ මිනිස්ටර්ගේ දුවලා. ඒ දෙන්නටම ලිපිය දුන්නේ මම. මිනිස්ටර්ටත් මම ලිපියක් දුන්නා. නමුත් ඒ වෙලාවේ දේශපාලකයන්ට ඔස්ට්‍රේලියාවේ වීසා දුන්නේ නෑ. සුදත් රෝහණ චන්ද්‍රෙස්කරගේ නමට එනකල් ඉන්නවා…”
ලෝක කුසලානය නැරඹීමට ගිය අනුරාධා එදිරිසිංහ සහ ශලනි තාරකා යන නිළියන් දෙදෙනා නම් කළේ, උපසභාපති ජයන්ත ධර්මදාස බව පැමිණි නිලධාරිහූ පැවසූහ.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට ආරක්ෂක උපදේශක ලෙස ලක්ෂ ගණනක දීමනාවක් ක්‍රිකට් ආයතනයෙන් ගෙවූයේ කුමණ පදනමක් පිටදැයි අනුර දිසානායක මන්ත්‍රීවරයා ශම්මි සිල්වාගෙන් ඇසූ විට ඔහු ප්‍රකාශ කළේ තමන් එම ඉල්ලීම කළත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා එය පිළිනොගත් බවය. එවැනි උසස් නිලධාරියෙකුට මේ ආකාරයේ ඉල්ලීමක් ලිඛිතව කිරීමත් සදාචාර විරෝධී බව එහිදී ප්‍රකාශ විනි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්ව තවත් දින 3ක් කෝප් කමිටුව හමුවට කැඳවීමට ඊයේ (14) තීරණය කර තිබිණි.
ඒ අනුව මෙම මස 24, 27 සහ 28 යන දිනවල ක්‍රිකට් ආයතන බලධාරීන් කෝප් කමිටුව හමුවට කැඳවීමට තීරණය කෙරිණි.