පසුගිය 12 වැනිදා වෙන්නප්පු නයිනමඩමේ පිහිටි හෝටලයක දී පාතාල අපරාධකරුවෙක් හා එක්ව ව්‍යාපාරිකයෙකුගේ තරුණ පුත්‍රයෙකුට අමානුෂික ලෙස පහර දී බිඳින ලද බෝතලයකින් ඇන බරපතල තුවාල සිදුකළ සිදුවීමට සම්බන්ධ පොලිස් පරීක්ෂකවරයා සහ පාතාල අපරාධකරු මේ වනවිටත් අත්අඩංගුවට ගෙන නැති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
සිද්ධිය වී දෙසතියකට ආසන්න කාලයක් ඉක්ම ගියත් සිද්ධිය සම්බන්ධව සාධාරණ ලෙස කටයුතු කිරීමට වෙන්නප්පුව පොලිසියට නොහැකි වී තිබීම සම්බන්ධව මේ වනවිට දැඩි චෝදනා එල්ලවෙමින් ඇත.
මෙසේ පොලිසියෙන් සැඟවී සිටින්නේ බස්නාහිර පළාත් උතුරු දිසා අපරාධ කොට්ඨාසයේ පොලිස් පරීක්ෂක ගිහාන් මනෝහර නැමැත්තා සහ “හීනටියන පොඩි කුමාර නැමැති පාතාලයට සම්බන්ධ පුද්ගලයාය.
මුල් අවස්ථාවේ දී මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට යෑමේ දී පොලිසියට විවිධ බලපෑම් එල්ල වී ඇති නමුත් දැන් එවැනි තදත්ත්වයක් නොමැති බව පොලිස් ආරංචි මාර්ග පැවසීය.
ඉහළ පොලිස් නිලධාරීන් සමග සමීප සම්බන්ධතා සහිතව සිටින මෙම පොලිස් පරීක්ෂකවරයා ඔවුන් මාර්ගයෙන් දේශපාලකයින් හමුවෙමින් සිද්ධිය ගොඩින් බේරා ගැනීමට උත්සාහ කරමින් සිටින බව වාර්තා වේ.







