දිනසේන රතුගමගේ –
උතුරේ දෙමළ දේශපාලන පක්ෂ හතක් විසින් මේ මස 20 වෙනිදා උතුරු නැගෙනහිර ප්‍රදේශ පුරා පූර්ණ හර්තාලයක් පැවැත්වීමට තීරණය කොට තිබේ.
යාපනයේ සෙල්වා ශාලාවේ ඊයේ (09) පැවති විශේෂ සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇත.

මුලතිව් මහේස්ත්‍රාත්වරයා ඉල්ලා අස්වීම ඇතුළු උතුරු නගෙනහිර පළාත්වල වැසියන්ට බලපාන ප්‍රධාන කරුණු හතක් මුල් කරගෙන මෙම හර්තාලය පැවත්වේ.
මෙදින උතුරු නගෙනහිර ප්‍රදේශවල සියලුම වෙළද සැල් වසා දමන ලෙසත් ගමනා ගමන කටයුතු නවතා දමන ලෙසත් පාසල් පැවැත්වීම නතර කරන ලෙසත් දෙමළ දේශපාලන පක්ෂ ඉල්ලා ඇත.
රජයේ කාර්යාල හා බැංකු මෙම පූර්ණ හර්තාලයට සහය පල කළ යුතු බවටද මෙම සාකච්චාවේදී තීරණ ය කොට තිබේ.
මෙම හර්තාලය මේ මස 13 වෙනිදා පැවත්වීමට සූදානම් වූ අවස්ථාවේදී දෙමළ දේශපාලන පක්ෂ කීපයක් මුලින් ගත් තීන්දුවලට විරෝධය පල කිරීම නිසා හර්තාලය පැවැත්වීමේ දිනය දින නියමයක් නොමතිව කල් දමනු ලැබීය.
යාපනයේ සෙල්වා ශාලාවේ පැවති මෙම සාකච්ඡාවට ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා, දෙමළ ජනතා සන්ධානයේ සභාපති විග්නේෂ්වරන්, ප්ලොට් සංවිධානයේ නායක ධර්මලිංගම් සිද්ධාර්ථන්, ඊ.පී.ආර්.එල්.එෆ් සංවිධානයේ නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්, දෙමළ ජාතික පක්‍ෂ නායක ශ්‍රී කාන්තා, ලේකම් සිවාජිලිංගම්, ප්‍රජාතන්ත්‍රවාදී සටන්කාමීන්ගේ පක්‍ෂයේ සභාපති වෙන්දන් සහ ටෙලෝ සංවිධානය වෙනුවෙන් තවිසලර් නිරෝෂ් ඇතුළු මහජන සංවිධාන රැසක නියෝජිතයන් එක්ව සිටියහ.







