දුම්රිය රියදුරන් ආරම්භ කර ඇති වැඩ වර්ජනය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය සූදානම් වේ.
ප්‍රවාහන අමාත්‍යාංශ බලධාරියෙක් උපුටා දක්වමින් අද දෙරණ වර්තා කර ඇත්තේ එම වර්ජනය පුද්ගලයින් 21 දෙනෙකු විසින් ආණ්ඩුව අපහසුතාවයට පත්කිරීමේ අරමුණින් සිදුකරන කඩාකප්පල්කාරී ක්‍රියාවක් බවට තොරතුරු ලැබී ඇති නිසා වර්ජන ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් සිදුකිරීමට කටයුතු කරන බවය.
කෙසේ වෙතත් ලොකෝමෝටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමයේ මෙහෙයවීමෙන් ආරම්භ කර ඇති වැඩ වර්ජනය තුන්වන දිනට අදත් (09) ක්‍රියාත්මකවන බව එම සංගමය පවසයි.
දුම්රිය රියදුරන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කරන්නේ පසුගිය 06 වනදා මධ්‍යම රාත්‍රී 12 සිටය. දෙවන පෙළ උසස් වීම් ලබාදීම ප්‍රමාද වීම, බඳවාගැනීම් ප්‍රමාද වීම ඇතුළු ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් ඔවුන් මෙම වෘත්තිය ක්‍රියාමාර්ගයට එළඹ ඇති බව සංගමය කියයි.
දුම්රිය ධාවනාගාර 5න් ධාවනාගාර දෙකක රියදුරන් පමණක් එම වර්ජනයට එක්ව සිටිති. මේ හේතුවෙන් බලවේග කට්ටල දුම්රිය ධාවනය සිදුනොවන බව සංගමය පවසයි.
කෙසේවෙතත් සිය ඉල්ලීම් සඳහා බලධාරීන් තවදුරටත් ප්‍රතිචාර නොදක්වන්නේනම් සිය වෘත්තීය ක්‍රියාමාර්ගය දැඩි කිරීමට පියවර ගන්නා බව ලොකොමොටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමයේ ලේකම් එස්. ආර්. සී. එම් සේනානායක සඳහන් කළේය.







