ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියෙන් අනතුරුව ඉන්දීය රුපියල් කෝටි 87ක් ඇතුළු කෝටි 1500ක අතාර්කික වත්කම් සම්බන්ධයෙන් ඉන්දීය ආදායම් බදු දෙපාර්තමේන්තුව මුදල් විශුද්ධිකරණය යටතේ අත්අඩංගුවට ගත් දඹුල්ල වයිකිංස් කණ්ඩායම් හිමිකාර ඉන්දීය නළු සචීන් ජෝෂි සහ ක්‍රිකට් තරග පාවා දීමේ යෝජනාවක් කරමින් දැනට විමර්ශනයට ලක් වී සිටින හිටපු ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක සචිත්‍ර සේනානායක එකම බුකි ජාලයක හැසිරී ඇති බවට තොරතුරු අනාවරණය වෙමින් ඇතැයි ඉන්දීය විමර්ශකයෝ වාර්තා කරති.
සචින් ජෝසී පසුගිය 15 දා අත්අඩංගුවට පත් වන්නේ එල්.පී.එල් තරගාවලියෙන් පසු ඔහගේ ගිණුමට බැරවුණු රුපියල් ඉන්දියානු රුපියල් කෝටි 87ක මුදල බුකි කරුවන්ගෙන් ඔහුට ලැබුණු බවට වූ සැකයත් මුල් කර ගනිමිනි.
ඉන්දීය චිත්‍රපට නලුවෙක් හා ED සමූහයේ ව්‍යාපාරික සචින් ජෝෂි පසුගියදා මෙරටදී නිමාවූ ලංකා ප්‍රිමියර් ලීග් (LPL 2020) ක්‍රිකට් තරගාවලියේ දඹුල්ල වයිකිංග්ස් කණ්ඩායමේ හිමිකරු ලෙස පෙනී සිටියේය. එම කණ්ඩායම තේරීමේ සිට සියළු මෙහෙයුම් සිදුකරනු ලැබුවේ ජෝෂි බව වාර්තා විය.
එල්.පී.එල් තරගාවලියේ තරග පවා දීමේ චෝදනාව ඍජුවම එල්ල වූයේ ජාතික කණ්ඩායමේ හිටපු තුන් ඉරියව් ක්‍රීඩක සචිත්‍ර සේනානායකටය. ඔහු කොළඹ කණ්ඩායමේ නවක ක්‍රීඩයෙකුට හා දඹුල්ල වයිකිංස් කණ්ඩායමේ ප්‍රවීන ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකුට තරග පවා දීම සඳහා යෝජනා කළ බවට සාධක සහිතව එම ක්‍රීඩකයන් අයි.සී.සී. දූෂණ මර්දන ඒකකය වෙත පැමිණිලි කර තිබිණි. එම කරුණු අයි.සී.සී. ය විසින් ක්‍රීඩා සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය වෙත වාර්තා කිරීමෙන් අනතුරුව සචිත්‍ර සේනානායක සම්බන්ධව විශේෂ විමර්ශනයක් ආරම්භ කිරීමට එම විමර්ශන ඒකකය කටයුතු කළේය.
මේ වනවිට ඉන්දියාව හා ශ්‍රී ලංකාව එක්ව කරගෙන යන සචින් ජොෂි සම්බන්ධ විමර්ශනයේ දී සචිත්‍ර සේනානායක හා සචින් ජෝෂි සම්බන්ධය හෙළිවෙමින් ඇතැයි විමර්ශන ආරංචි මාර්ග පවසයි.
මෙම තරගාවලියේ දී ආන්දෝලනයට ලක් වූ දඹුල්ල වයිකිංස් කණ්ඩායමේ මාලින්ද පුෂ්පකුමාර යැවූ නෝබෝල් පන්දුවක් මුදලට තරග පාවාදීමේ අවස්ථාවක් දැයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රශ්න කිරීමට පවා ලක්වුණේය.







