කීර්ති ප්‍රනාන්දු –
ශ්‍රී ලංකාවේ ඉන්ධන අර්බුදයට විසඳුම් සොයා ඇමතිවරු කීප දෙනෙකු කටුනායක ගුවන් තොටුපළෙන් ඊයේ (27) රාත්‍රී සහ අද (28) දින අලුයම විදේශ ගත වී තිබේ.
බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ඊයේ (27) රාත්‍රී 08.15 ට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 655 දරන ගුවන් යානයෙන් කටාර් රාජ්‍යයේ දෝහා වෙත කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබුණි .
ඔහු සමග පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මහතා ද මෙම ගුවන් යානයෙන්ම කටාර් රාජ්‍යයේ දෝහා බලා පිටත්ව ගොස් තිබේ .
ඔවුන් කටාර් රාජ්‍යයේ නිත්‍ය ඉන්ධන සැපයුම්කරුවෙකු සොයා ගැනීමට මෙම සංචාරයේ දී කටයුතු කිරීමට නියමිතය .
මීට අමතරව සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා ද අද (28 ) දින අලුයම ප්‍රංශය හා රුසියාව බලා පිටත්ව යාම සඳහා ඩුබායි වෙත පිටත්ව ගොස් තිබේ .
අද (28) දින අලුයම 03.15 ට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 649 දරන ගුවන් යානයෙන් ඩුබායි වෙත කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් ඇත.
ප්‍රංශයේ යෙදෙන සංචාරයෙන් අනතුරුව එළඹෙන ජුලි මස 03 වැනි දින අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සහ රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති වෛද්‍ය සමන් වීරසිංහ ඇතුළු කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ ඉන්ධන අර්බුදයට විසඳුම් සොයා රුසියාවේ මොස්කව් නුවර බලා පිටත්ව යාමට නියමිතය.
විශේෂත්වය වන්නේ වෙනදා මෙන් සද්ද දමාගෙන පරිවාර රථ රැසකින් පැමිණ පෙන්වන ගුවන්තොටුපල සංදර්ශන දැන් ඇමතිලාගේ සංචාර අතර නොතිබීමය. මේ ඇත්තන් ආවාද නැද්ද යන්නවත් කිසිවෙක් දන්නේ නැත. බොහෝ විට ගුවන්තොටුපලට එන්නේත් තමන්ගේ නිල රථවලින් නොවන බවත්, ප්‍රභූ පර්යන්ත වසා ඇති බැවින් සාමාන්‍ය මගී පර්යන්තයෙන් ඇතුළු වී සිය ගමන පිටත් වීම දැන් ඇමතිවරුන්ගේ පුරුද්ද බවත් ගුවන්තොටුපල ආරංචි මාර්ග පවසයි.
Discussion about this post