මනම්පිටිය නිමල් ජයරත්න –
පොලොන්නරුව අරලගංවිල විජයබාපුර මහවැලි කොට්ඨාසයේ ගම්මාන කිහිපයක ගොවීන්ගේ වී සහල් බවට පත්කර ගැනීමේ අරමුණින් මීට වසර නවයකට පෙර බැසිල් රාජපක්ෂගේ අදහසක් අනුව ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය රුපියල් ලක්ෂ 50ක වියදමකින් ඉදිකරන ලද සහල් මෝලක යන්ත්‍ර සූත්‍ර මල්කඩ කා දිරාපත් වී, එම වී මෝල් ගොඩනැගිල්ලද වල්බිහිවී, ගරා වැටෙමින්, පවතින බව ප්‍රදේශයේ ගොවි සංවිධාන නියෝජිතවරු සඳහන් කරති.
රුපියල් ලක්ෂ 50ක වියදමින් මෙම සහල් නිෂ්පාදන මෝල සහ ගොඩනැගිල්ල් ඉදිකළද, වසර නවයක් ගත වුවද මෙතෙක් වී ඇටයක්වත් කොටා සහල් බවට පත් කර නැති බව මහවැලි බී කලාපයේ ව්‍යාපාර කමිටුවේ හිටපු ලේකම් සරත් රාජපක්ෂ සඳහන් කරයි.
රුපියල් ලක්ෂ ගණන් වටිනා සහල් නිෂ්පාදනය කිරීමට හැකි යන්ත්‍ර, සූත්‍ර කීපයක් මේවන විට මලකඩ කා විනාශ වෙමින් පවතින අතර, එම සහල් නිෂ්පාදන මෝල ප්‍රදේශයේ ගොවි සංවිධානයකට හෝ පවරා දීමට අවශ්‍ය කටයුතු කරන ලෙසද ගොවීහු අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.
දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අධීක්ෂණය යටතේ ඉදිකෙරු මෙම සහල් නිෂ්පාදන ව්‍යාපෘතිය ගම්මාන කිහිපයක ගොවි පවුල් පන්සීයකට ආසන්න ප්‍රමාණයකගේ වී අස්වනු සහල් බවට පත්කර ගැනීමේ අරමුණින් සිදුකර ඇති අතර එය සහල් බවට පත්කර කර ගන්නේනම් විජයබාපුර කොට්ඨාශයට අවශ්‍ය සහල් ඉතා අඩු මිලට ලබාදීමේ හැකියාව පවතින බවද ගොවීහු සඳහන් කරති.
අප ගොවීන් නගන මෙම චෝදනාව සම්බන්ධයෙන් දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් පී,ටී.එම්.ඉර්ෆාන්ගෙන් දුරකතනයෙන් සිදු කල විමසීමකදි ඔහු සඳහන් කළේ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය මගින් එවැනි ව්‍යාපෘති රැසක් ලංකාව පුරා ක්‍රියාත්මක කල බවත්, එම කාලය තුළ තමා දිඹුලාගල ප්‍රාදේශීය ලේකම්වරයා ලෙස සේවය නොකළ බවත්ය.
අදාළ ගොවි සංවිධාන නියෝජිතයින් මෙම සහල් නිෂ්පාදනය මෝල ඉල්ලා සිටින්නේ නම් ඒ පිළිබඳ රජයේ අවධානයට, යොමුකර එම සහල්, නිෂ්පාදන මෝල ,ප්‍රයෝජනයට ගත හැකි පරිදි අවශ්‍යය, වැඩපිළිවෙළ සකසා දීමට හැකියාව තිබෙන බවයි.







