අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන පැය 72ක රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරමින් සිටි හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා අද (28) සවස ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජනවාරි 9 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.
මෙම නියෝගය නිකුත් කළේ ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් පද්මා අමරතුංග විසිනි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනිමැරුම් විමර්ශන අංශය මගින් සිදුකරන ලද විමර්ශනයකට අදාළව 26වනදා ඔහුව අත්අඩංගුවට ගනු ලැබීය.
හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දාගේ පෞද්ගලික පරිහරණය සඳහා 2001 වසරේ දී යුද හමුදාවෙන් ලබා දුන් පිස්තෝලයක් 2019 වසරේදී සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මාකඳුරේ මදුෂ්ගෙන් කළ ප්‍රශ්න කිරීමේදී සොයා ගැනීමේ සිද්ධියකට අදාළව කරන විමර්ශනයකදී හිටපු අමාත්‍යවරයා මෙලෙස අත්අඩංගුවට ගෙන තිබිණි.
වැලිවේරිය ප්‍රදේශයේ බෝක්කුවක් අසල කැලෑබද ප්‍රදේශයක සඟවා තිබියදී මධුෂ් ලබා දුන් තොරතුරු මත සොයා ගත් එම අවියේ අනුක්‍රමික අංක පරීක්ෂා කිරීමේදී අනාවරණ වී ඇත්තේ, අදාළ ගිනිඅවිය දේවානන්දා වෙත යුද හමුදාවෙන් නිකුත් කර තිබූ එකක් බවය.
ඒ සම්බන්ධයෙන් ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අවිය අස්ථානගත වූ ආකාරය සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමට ඔහු අපොහොසත් වී ඇති බව විමර්ශන අංශ කියයි. හිටපු අමාත්‍යවරයා අත් අඩංගුවට පත් වන්නේ ඒ අනුවය.







