දිනසේන රතුගමගේ –
දෙමළ ජාතික සන්ධානය සදහා නව නායකයෙකු තෝරා පත් කර ගැනීමේදී කිසිම දේශපාලන පක්ෂයක් තුළ මතභේද ඇති නොවන සේ කටයුතු කොට නායකයා පත් කර ගන්නා ලෙස ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ හිටපු නායක මාවෙයි සේනාධිරාජා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වරයා සියලුම දෙමළ දේශපාලන පක්ෂ වලින් 11 දා ඉල්ලීමක් කොට තිබේ.
දෙමළ ජාතික සන්ධානය ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂය, ටෙලෝ පක්ෂය,ප්ලොට් පක්ෂය යන දෙමළ දේශපාලන පක්ෂවලින් සැදුම් ලත් පක්ෂයක් වන අතර මෙතෙක් කල් දෙමළ ජාතික සන්ධානයේ නායකත්වය දරණ ලද්දේ ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂය නිසා නව නායකත්වය වෙනත් දේශපාලන පක්ෂයකට ලැබිය යුතු බවට මේ දිනවල මතයක් ගොඩ නැගී තිබේ.
ඊට පිළිතුරු සපයමින් මාවෙයි සේනාධිරාජා හිටපු මන්ත්‍රීවරයා ප්‍රකාශ කලේ ටෙලෝ සංවිධානයේ නායක සෙල්වම් අඩෙයිකලනාදන් මන්ත්‍රීවරයා දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපතිත්වය යළි බාර ගැනීමට සූදනමින් සිටින බවයි.
ප්ලොට් නායක ධර්මලිංගම් සිද්ධාර්ථන් මන්ත්‍රීවරයාද දෙමළ ජාතික සන්ධානය සමග ඉතා සුහදව කටයුතු කරණ නිසා ඔහු නව නායකයා පත් කර ගනීමේදි විරෝධයක් ඇති නොවන තත්ත්වයක් තිබෙන බව මාවෙයි සේනාධිරාජා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සදහන් කළේය.
කෙසේ වෙතත් මේ වන විට දෙමළ ජාතික සන්ධානයේ නව නායකත්වය උතුරු පළාතට ලැබීය යුතු බවටද විශාල මතයක් ගොඩ නැගී ඇති අතර හිටපු නායකයා වන ආර් .සම්පන්ධන් මන්ත්‍රීවරයා ත්‍රිකුණාමළය දිස්ත්‍රික්කය හා නැගෙනහිර පළාත් නියෝජනය කිරීම ඊට හේතුව වි තිබේ.
දෙමළ ජාතික සන්ධානය් බිහි වූ දිනයේ සිටම එම පක්ෂයේ නායකයා ලෙස කටයුතු කොට අත්තේ සම්පන්ධන් මන්ත්‍රීවරයාමය.
දෙමළ ජාතික සන්ධාන්යේ සංයුතිය අනුව වැඩි බලයක් ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයට ඇති නිසා උතුරු පළාත් නියෝජනය කරණ මන්ත්‍රීවරයෙකු ඊළඟට දෙමළ ජාතික සන්ධානයේ නායකයා වීම අනිවාර්යෙන්ම සිදුවිය යුතු බවටද එම පක්ෂයේ පිරිසක් දේශපාලන මතවාදයක් ගොඩ නගා තිබේ.
කෙසේ වෙතත් දෙමළ ජාතික සන්ධනයේ නව නායකත්වය සදහා මන්ත්‍රීවරුන් කීප දෙනෙකුගේම නම් ප්‍රකාශයට පත් වීම අනිවාර්යෙන්ම සිදුවන නිසා එම පක්ෂයේ මීළග මධ්‍යම කාරක සභා වාරයේදී නාම යෝජනා ලබා ගෙන සාධාරණ ඡන්ද විමසීමකින් පසුව දෙමළ ජාතික සන්ධානයට නව නායකයෙකු තෝරා පත් කර ගැනීම සිදු වියයුතු බවට මාවෙයි සේනාධිරාජා හිටපු මන්ත්‍රීවරයා දැනුම් දීමක් කොට තිබේ.







