සිරකරුවන් 20ක් හෝ ඊට ආසන්න පිරිසක් මෙවර වෙසක් දින ජනාධිපති පොදු සමාව අනීතික ලෙස භාවිත කරමින් නිදහස් කර ඇති බවට සැක කරන තොරතුරු රැසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී ඇතැයි එම විමර්ශන ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ හැරුණු කොට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පසුගිය වෙසක් පොහොය වෙනුවෙන් ලබා දුන් ජනාධිපති සමාව අවභාවිතා කරමින් ද මේ ආකාරයට සිරකරුවන් 30ක් හෝ 35ක් ජනපති පොදු සමාවට මුවා වී නිදහස් කර ඇති බවට සැකකරන තොරතුරු ලැබී ඇති බව උසස් පොලිස් නිලධාරියකු පැවැසීය.
අනුරාධපුර බන්ධනාගාරයෙන් පමණක් නොව, ලංකාව පුරා ඇති බන්ධනාගාරවලින් මේ ආකාරයෙන් සිරකරුවන් නිදහස් වී ඇති බව ද හෙළි වී ඇත.
මේ ආකාරයෙන් අනීතිකව නිදහස්වන අපරාධකරුවන් නිසා නිත්‍ය වශයෙන් ජනාධිපති සමාව ලැබ නීත්‍යානුකූලව නිදහස් වීමට සිටි සිරකරුවන් තවමත් බන්ධනාගාරගතව සිටින්නට හැකිවීම හෝ නීත්‍යානුකූල නිදහස ලැබූ දිනට පසු කාලයක් බන්ධනාගාරගතව සිටීමේ මානුෂික අපරාධය පිළිබඳව ද විමර්ශන අංශවල අවධානයට ලක් වී ඇත.
මේ වනවිට අනුරාධපුර බන්ධනාගාරයට ගොස් විමර්ශන ආරම්භ කර ඇති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනුරාධපුර බන්ධනාගාරයේ සහකාර බන්ධනාගාර අධිකාරීවරයා අත් අඩංගුවට ගෙන තිබේ.







