ශ්‍රී ලාංකික අප 2025 නව වසරට පා තබන්නේ රටත්, ජනතාවත් දශක ගණනාවක් පුරා දුටු සුබ සිහින මල්ඵල ගැන්වෙන නව යුගයක උදාවත් සමගින් බව ජනාධිපති අනුර කුමාර දිසානායක සිය නව අවුරුදු සුබ පැතුම් පණිවිඩය නිකුත් කරමින් ජනතාව ආමන්ත්‍රණය කරයි.
දිවයිනේ උතුර, නැගෙනහිර, බටහිර හා දකුණ යන සතර දිසාවන් යා කරමින්, සියලු ජනතාවගේ විශ්වාසය දිනා ගෙන පාර්ලිමේන්තුවේ බහුතර බලයක් සහිත ආණ්ඩුවක් ගොඩනැගීමට 2024 පාර්ලිමේන්තු මැතිවරණයේදී හැකි වූ බවත් එම ජන වරමට අනුව ජනතාව අපේක්ෂා කරන යහපත් රාජ්‍යය ගොඩනැගිම වෙනුවෙන් පැවති දේශපාලන සංස්කෘතියේ විසල් පරිවර්තනයක් සිදු කරමින් ජනවරමේ වගවීම හා වගකීම ඉටු කිරීමට මේ වන විට රජය යුහුසුලුව කටයුතු කරන බවත් ජනාධිපතිවරයා අවධාරණය කරයි.
ග්‍රාමීය දිළිදු බව අවසන් කිරීම, ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන, ඩිජිටල් ආර්ථිකයක් ගොඩනැගීම රටෙහි ප්‍රමුඛ සංවර්ධන අවශ්‍යතා ලෙස අපි හඳුනාගෙන ඇති බවත්, සමාජීය, පාරිසරික හා ආචාර ධාර්මික පිබිදීමක් ඔස්සේ සමාජය වඩා දියුණු තලයකට ඔසවා තැබීම අරමුණු කර ගත් “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන නව වසරේ උදාවත් සමඟ ක්‍රියාවට නැංවෙන්නේ ඒ පසුබිමේ බවත් ජනාධිපතිවරයා කියයි.
“පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” සැමට උරුම කර දීම වෙනුවෙන් නව ආකල්ප පුබුදුවා, නව අධිෂ්ඨානයක් සිත් දරා සහෘදත්වයත් සමඟ පෙරට පැමිණීමට 2025 නව වසර උදාව මහඟු අවස්ථාවක් උදා කර ඇති බව තමන් තරයේ විශ්වාස කරන බව ජනාධිපතිවරයා පවසයි.
නිදහසින් පසු ලංකා ඉතිහාසයේ පළමු වතාවට ජනතාහිතෛෂී පාලනයක් ඇති කරමින් සියලු ජනතාව එකාවන්ව දුටු සංවර්ධිත ශ්‍රී ලංකාවක් පිළිබඳ සිහිනය යථාර්ථයක් කිරීමේ අවස්ථාව හිමිව ඇති බැවිත් එම අත්හළ වගකීම පිළිබඳ මනා අවබෝධයක් රජයට ඇති බවත් ජනාධිපතිවරයා පවසයි. . මේ සියවසේ මඟහැරුණු ජයග්‍රහණ යළි රටට අත්කර දීමටත්, එකී ජනතා සිහින යථාවක් කිරීමටත් 2025 නව වසරේදී තවත් වීර්යයෙන් සහ සද්- අධිෂ්ඨානයෙන් යුතුව කැපවීමෙන් ක්‍රියා කරන බව ද ජනාධිපතිවරයා සහතික වෙයි.
සෞභාග්‍යය, එකමුතුබව සහ නව අපේක්ෂා සපිරි සුබ නව වසරක් ප්‍රාර්ථනා කරමින් ජනාධිපතිවරයා නිකුත් කළ නව අවුරුදු සුබ පැතුම් පණිවිඩය පහත දැක්වේ.








