කීර්ති ප්‍රනාන්දු –
රජයේ ප්‍රසම්පාදන කටයුතු අනුගමනය කරමින් ටෙන්ඩර් ක්‍රමය හරහා ගල්අඟුරු ලබාගැනීමට තෝරා ගන්නා ලද අවම ලංසුව ලබාදුන් සැපයුම්කරු, ඔවුන්ට එල්ලකර ඇති චෝදනා නීත්‍යානුකූලව නිරාකරණය කරන තෙක් සැපයුම් සිදුකිරීමට නොහැකි බව දැනුම්දී ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.
විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ප්‍රධානත්වයෙන් ලංකා ගල්අඟුරු සමාගමේ නිලධාරීන් සහ අදාළ සැපයුම්කරුවන් සමග ගල්අඟුරු ප්‍රසම්පාදනය කිරීමේ විකල්ප යෝජනා පිළිබඳ පැවැත්වූ සාකච්ඡාවක දී මේ බව ප්‍රකාශ වී තිබේ.
ගල්අඟුරු ප්‍රසම්පාදනය පිළිබඳව සමාජය තුළ අර්බුදකාරී වාතාවරණයක් නිර්මාණය වී ඇති බවත් එය නිරාකරණය කරගාන්නා තුරු ගල් අඟුරු සැපයුම අත්හිටුවන බවත් සැපයුම්කරුවන් දන්වා ඇතැයි අමාත්‍යාංශය කියයි.
දැනට ඇති දත්ත අනුව රට තුළ ගල් අඟුරු පවතින්නේ ඔක්තොම්බර් මස 25 වැනිදා තෙක් පමණි. ගල් අඟුරු ගැටලුව පිළිබඳව අප කළ විමසුමක දී විදුලි ඉංජිනේරු සංගමයේ සභාපති අනිල් රංජිත් ඉඳුවර ප්‍රකාශ කළේ අප ඉන්නේ අවදානම් තත්ත්වය බවය.
“ බලාගාර දෙකම දිව්වොත් ලබන ඔක්තොම්බර් 24 -25 වෙනකම් මේ තිබෙන ගල් අඟුරු ප්‍රමාණයෙන් අපට දුවාගන්න පුලුවන් වේවි.
ඊට පස්සෙ අවශ්‍යවන ගල් අඟුරුවලට තමයි නව ඇනවුම ඉදිරිපත් කරන්න ඕන. මෙට්‍රික් ටොන් මිලියන 4.4ක් සඳහා තමයි ඒ ඇනවුම ලබා දෙන්නේ.
ඇනවුමක් ලබා දුන්නට පස්සේ මාස එක හමාරක්වත් අවශ්‍ය වෙනවා ඒ ඇනවුම සක්‍රීය වෙලා නැව් මගින් ගෙනත් අපේ ගබඩා තුළට ගල් අඟුරු එන්න. ගබාඩාවල ගල් අඟුරු තිබුණොත් තමයි බලාගාරවල විදුලි ජනනය කරන්න පුලුවන් වෙන්නේ.
මේ තත්ත්වය තුළ ඇනවුම ප්‍රමාද වෙලා මාස එක හමාරක කාලයකදි ගල් අඟුරු ගේන්න බැරිවුනොත් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවෝට් 810ක් නැති වෙනවා. ප්‍රධාන සැපයුම් ධාරාව ගල් අඟුරුවලින් ලැබෙද්දි එය බිඳවැටෙනවා කියන්නෙ එය දරා ගන්න අමාරුයි. විශාල විදුලි කප්පාදුවක් එහි ප්‍රතිඵල වේවි.
සමහරවිට පැය 10කට වැඩි කාලයක් විදුලි කප්පාදුවකට යන්න වේවි.
විදුලි ඉංජිනේරු සංගමයේ සභාපති අනිල් රංජිත් ඉඳුවර කීවේය.







