ශ්‍රි ලංකාවේ සිට ඩුබායි හරහා චීනය බලා ගිය ගුවන් යානයක කොවිඩ්- 19 වයිරසය ආසාදිත පුද්ගලයන් 23ක් හමුවීම හේතුවෙන් නැවත දන්වන තුරු ෂැංහයි සහ කොලඹ අතර ගුවන් සේවා අත්හඅටුවීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.
ශ්‍රි ලංකන් ගුවන් සේවා ප්‍රකාශකයකුට අනුව මෙම ගුවන් යානය චීනය මඟින් සේවා සඳහා ලබා ගත් ගුවන් යානයක් වන අතර එයට ඩුබායි හිදී නංවාගත් මඟීන් අතර මෙසේ ආසාදිතයන් සිට ඇති බව තහවුරු වී තිබේ. UL 866 දරණ මෙම ගුවන් යානය පසුගිය 07 වැනිදා ඩුබායි සිට ෂැංහයි බලා චීන ජාතික මඟීන් සමඟ පියාසර කර ඇත්තේ ඔවුන්ට ඩුබායි හි දී පී.සීආර් පරීක්ෂණද සිදු කිරීමෙන් අනතුරුව බව වාර්තා වේ.
කෙසේ වුවද චීන රජය විසින් කොවිඩ් පාලනය සඳහා අනුගමනය කෙරන ආරක්ෂක රෙගුලාසිවලට අනුව යම් ගුවන් සේවයක කොරෝනා ආසාදිතයන් සිටියහොත් එම සේවාව අත්හිටුවීමට කටයුතු කරන ප්‍රතිපත්තියක සිටී.
මේ සම්බන්ධයෙන් අද ශ්‍රි ලංකාවේ චීන තානාපති කාර්යාල බලධාරීන් සහ ශ්‍රි ලංකන් ගුවන් සේවා නියෝජිතයන් අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන අතර ඉදිරියේදී ගැනෙන පියවර පිළිබඳව එහිදී තීරණය වනු ඇති බවද ශ්‍රි ලංකන් ගුවන් සේවා ආරංචි මාර්ග සඳහන් කරයි.
ශ්‍රි ලංකන් ගුවන් සේවයට අමතරව එතිහාඩ් ගුවන් සේවය සහ තවත් එක් චීන ගුවන් සේවයක ගුවන් ගමන්ද මෙම හේතුව නිසාම අත්හිටුවා ඇති බව චීන ෂිංහුවා පුවත් සේවය වාර්තා කළේය.







