ඊයේ (25) සවස චීන තානාපති කාර්යාලයට ගිය අමාත්‍යවරු ඇතුළු නියෝජිත කණ්ඩායමට එක් වූ කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා චීන තානාපතිවරයා අවසාන වරටත් යෝජනා කළ තුන්වන පාර්ශවයක් හරහා නැවත මෙම පොහොර සාම්පල් පරීක්ෂා කළ යුතුය යන යෝජනාවට ඍජුව සිය විරෝධය පළ කිරීමෙන් පසු සාකච්ඡාව තීරණයකින් තොරව නිමා වී ඇතැයි වාර්තා වේ.
මේ සම්බන්ධව ඊයේ හිරු සලකුණ රූපවාහිනී වැඩසටහනට සහභාගී වූ අධ්යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කරනු ලැබුවේ චීන තානාපති කාර්යාලයෙන් මින් පෙර අවස්ථා කීපයක දී මෙවැනි යෝජනා වාචිකව හා ලිඛිතව ඉල්ලා සිටියත් රටේ වලංගු නෛතික රාමුවට එකඟ නොවූ ඒ සියලුම ඉල්ලීම් තමන් විසින් ප්‍රතික්ෂේප කළ බවය.
“මා ඒ හැම අවස්ථාවකම එක් ස්ථාවරයක හිටියා. අපට තියනවා ජාතික පැලෑටි සංරක්ෂණ පනත. 1999 අංක 35 දරන මේ පනතෙ විධි විධාන අනුව පර්යේෂණයට ලක් කළ යම් ද්‍රව්‍යයක් ප්‍රතික්ෂේප වුනාම අපට ඒ හරහාම යෑමේ හැකියාවක් නෑ. “
චීන තානාපති කාර්යාලයට මේ සාකච්ඡාව සඳහා චීන පොහොර ගෙන්වූ සමාගමේ නියෝජිතයන් ද එක් වී සිට ඇත. ඔවුන් යළි යළිත් චීන තානාපතිවරයා හරහා බලපෑම් කර ඇත්තේ දෙපාර්ශවය එකඟවන තුන්වන පාර්ශවයකින් යළිත් පොහොර සාම්පලය පරීක්ෂා කළ යුතු බවය. කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා එහිදී ප්‍රකාශ තිබුණේ එවැනි අවශ්‍යතාවයක් කිසිසේත් පැන නොගින බවය.
“මේ පරීක්ෂණ අපේ රටේ දි කළ ක්‍රමවේදයේ අඩුපාඩුවක් තියනවා කියලා කියන එක මා ප්‍රතික්ෂේප කළා. අපි ජාත්‍යන්තර ශාක ආරක්ෂණ සම්මුතියට අත්සන් කළ ජාතීන් 184න් එක් රටක්. අප එම සම්මුතියට බැඳුණු සාමාජිකයෙක්. ජාතික ශාඛ නිරෝධායන ආයතනය හරහා තමයි අපි ඔවුන්ට සම්බන්ධ වෙන්නෙ. අපට තියනවා ජාත්‍යාන්තරව පිළිගත් පදනමක්. “
“මා කිව්වා රට තුළ අප කළ මේ පරීක්ෂණ අප පිළිගන්නවා බව. තුන්වන පාර්ශවයක පරීක්ෂණවලට යන්න අවශ්‍ය නැති බව. “
කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල්වරයා එම වැඩසටහනේ දී කීවේය.
ඔහු එහි දී ප්‍රකාශ කළේ චීන පොහොර නැව ලංකාවේ මුහුදු සීමාවට පැමිණි බව තමන් නිල වශයෙන් දැනගත්තේ පොහොර සමාගම් නියෝජිතවරිය තමන් වෙත එවූ ලිපියෙන් බවය.
එම ලිපිය ලැබී පැය භාගයක් යනවිට ගතයුතු සියලු පියවර තමන් ගත් බවත් ඔහු කීවේය. මේ පොහොර සම්බන්ධව තීන්දුවක් ගැනීමේ දී තමන්ට කිසිම බලපෑමක් සිදු වී නැති බව අධ්යක්ෂ ජනරාල්වරයා කීවේය. රටේ වලංගු නීතිය අනුව තමන්ගේ අනුමැතියකින් තොරව මෙම පොහොර තොගය කිසිසේත්ම ගොඩබෑමට නොහැකි බවත් ඒ සඳහා තමන්ගේ අත්සන යොදා අනුමැතිය නොදෙන බවට රටට සහතික විය හැකි බවත් ඔහු පැවසුවේය.