මනම්පිටිය නිමල් ජයරත්න –
මෙවර යල කන්නයේ අධික වියදමක් දරමින් වගා කරන ලද වී අස්වනු වලට ගොවියාට සාධාරණයක් ඉටු කිරීමටනම් රජය සහල් සඳහා පන්වා ඇති රුපියල් 220 උපරිම සිල්ලර මිල ගැසට්ටුව වහාම ඉවත්කර, ගොවියගෙ වී කිලෝවක් රුපියල් 150 කටවත් ලබා ගෙන, ගොවියාත් පාරිභෝගිකයාත් සුරක්ෂිත වන වැඩපිළිපිළිවෙළක් සකසන ලෙස එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති මුදිත් පෙරේරා පැවසීය.
ගොවියා එකඟනොවන මිලකට පුද්ගලික අංශයට වී මිලදී ගැනීමට ඉඩහැර ආණ්ඩුව ගොවියාව සූරාකෑමට ඉඩ දී ඇති බව ද ඔහු පැවසුවේය.
සභාපතිවරයා මේ බව ප්‍රකාශ කළේ අද (20) ඕනෑගම ප්‍රදේශයේ පැවති විශේෂ පුවත්පත් සාකච්ඡාවකදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුදිත් පෙරේරා මහතා මෙසේද කීය..’
“වී ගොවියා අද නොසතුටින් ඉන්නේ මේ වී මිල සම්බන්ධව, ආණ්ඩුවත්, පෞද්ගලික අංශයත් මේ යල කන්නයේ වී සඳහා නියම කර ඇති මිලට ගොවියා එකඟ නැහැ. වී කිලෝවක් නිෂ්පාදනය කරන්න ගොවියාට ගිය වියදම අනුව මේ රුපියල් එකසිය විස්සේ මිල කිසිසේත්ම ප්‍රමාණවත් නැහැ. ඒ කියන්නේ ආණ්ඩුව මේ ගැසට් එක ඉවත් කරලා යල කන්නයට උපරිම සහල් මිලක් නියම කරලා අලුතින් ගැසට් එකක් ගහලා රුපියල් එකසිය 150 ට වී ගන්න කියලා තමයි අපිත් කියන්නේ. “
“ඒ කියන්නේ 220 සහල් ගැසට්ටුව තියාගෙන ආණ්ඩුව උඩ පැන්නට වැඩක් නැහැ. යල කන්නයට විතරක්වත් සහල් වලට වෙන්ම මිලකුත්, වී වලට වෙනම මිලකුත් පනවන්න ඕනේ.
ජන හා සංඛ්‍යා ලේඛන වාර්තා අනුව පුද්ගලයෙකුට මාසයක් ජීවත්වෙන්න රුපියල් 12,500 ක් ඕන වෙන්වා. පවුලේ පස්දෙනෙක් හිටියොත් ඒ පවුලට මාසයක් ජීවත් වෙන්න 62,500 ක් ඕනේ වෙනවා, එතකොට එහෙම පවුල්කට ජීවත් වෙන්න මාස හයකට රුපියල් ලක්ෂ හතරක් ඕන වෙනවා.
ඒ මුදල පියවා ගන්න නම් අඩුම තරමේ ගොවියාට වී කිලෝ එකක් සඳහා රුපියල් එක සිය හතලිහක මුදලක්වත් ලැබිය යුතුයි කියලා තමයි අපේ යෝජනාව, එතකොට ගොවියාගෙන් වී කිලෝ එකක් රුපියල් එකසිය 140 ගත්තොත් හාල් කිලෝ එකක මිල රුපියල් තිස්පහකින් වැඩිවෙනවා. එහෙම වුනොත් හාල් කිලෝ එකක් රුපියල් දෙසීය පනහක් වෙන එක කාටවත් නතර කරන්න විදිහක් නෑ.
එකක් මතක තබාගන්න දේශීය ගොවියා ආර්ථිකයෙන් පොහොසත් වුනොත් පමණයි අපිට ඔය ගානටවත් හාල් කන්න හැකියාව තිබෙන්නේ. මුදිත් පෙරේරා වැඩිදුරටත් කීවේය.







