රසිකා හේමමාලි –
ශ්‍රීලංකන් ගුවන් සේවය සිය මෙහෙයුම් කටයුතු සම්බන්ධයෙන් මෙරට ජනමාධ්‍යවේදීන් දැනුවත් කිරීම සඳහා සංවිධානය කළ පුරෝගාමී වැඩමුළුවක් 2023 සැප්තැම්බර් 13 සහ 14 දෙදින තුළ කටුනායකදී අතිසාර්ථක ලෙස පැවැත්විණි. මෙය ගුවන් කර්මාන්තය සම්බන්ධ වාර්තාකරණයේ නව පරිච්ඡේදයක ආරම්භයක් වූයේය.
මෙරට ගුවන් සේවයක් විසින් මෙවැනි වැඩමුළුවක් සංවිධානය කළ ප්‍රථම අවස්ථාව මෙය විය. ගුවන් යානා මෙහෙයුම් කටයුතු, ඉංජිනේරු කටයුතු, ගුවන් ගමන් තුළදී ලබාදෙන සේවාවන්, ගුවන් තොටුපළ තුළ ගුවන් යානා හැසිරවීමේ කටයුතු, ගුවන් සේවා කර්මාන්තයේ ආරක්ෂක විධිවිධාන සහ සිවිල් ගුවන් සේවා රෙගුලාසි වැනි මාතෘකා රාශියක් මෙහිදී ආවරණය විය.
මෙරට පුවත්පත්, රූපවාහිනී, ගුවන් විදුලි හා ඩිජිටල් මාධ්‍ය නියෝජනය කරමින්, සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂාවලින් මාධ්‍යකරණයෙහි යෙදෙන ජනමාධ්‍යවේදීහු 50 කට අධික පිරිසක් මෙම වැඩමුළුවට සහභාගී වූහ.

කටුනායක පිහිටි ශ්‍රීලංකන් ඒවියේෂන් කොලේජ් හිදී මෙම වැඩමුළුව පවත්වන ලද අතර, ශ්‍රීලංකන් ගුවන් සේවය සහ පොදුවේ මෙරට ගුවන් සේවා කර්මාන්තය නියෝජනය කරන ප්‍රවීණයෝ පිරිසක් මීට සම්පත් දායකත්වය ලබාදුන්හ. මෙහි සමාරම්භක උත්සවයට සහභාගී වූ ශ්‍රීලංකන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී රිචර්ඩ් නටාල් , කලාපයේ ගුවන් සේවා කර්මාන්තයේ වර්තමානය හා අනාගතය සම්බන්ධයෙන් අදහස් පළකළේ ය.
ශ්‍රීලංකන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන කළමනාකරු දීපාල් පෙරේරා විසින් පළමු දිනයේ පිළිගැනීමේ කථාව සහ හැඳින්වීම සිදුකළ අතර, ඉන් අනතුරුව International Air Transport Association (IATA) හි සහකාර අධ්‍යක්ෂ (මෙහෙයුම් සහ ආරක්ෂක කටයුතු – ආසියානු පැසිෆික් කලාපය) කපිතාන් හොසේ ෆනෑන්ඩස් සහ ආයතනික සන්නිවේදන ප්‍රධානී ඇල්බර්ට් ටීජොන්ග් විසින් ගුවන් සේවා කර්මාන්තය තුළ ක්‍රියාත්මක වන ආරක්ෂක විධිවිධාන පිළිබඳව අතථ්‍ය (Virtual) සැසියක් පවත්වන ලදි.

දවසේ ඉතිරි වැඩසටහන් මෙහෙයවන ලද්දේ ශ්‍රීලංකන් ගුවන් සේවයේ සම්පත් දායක දායිකාවන් විසිනි. එහිදී තාක්ෂණික ගුවන් නියමු කපිතාන් ජයස්ක බරණගේ විසින් ගුවන් ගමන් මෙහෙයුම් පිළිබඳවද, උපදේශක ඉවැන්ජලින් ලැපන් විසින් ගුවන් යානා අභ්‍යන්තර මෙහෙයුම් කටයුතු පිළිබඳවද, ශ්‍රීලංකන් ඉංජිනියරින් හි පුහුණු හා ශක්‍යතා සංවර්ධන කළමනාකරු අමිල ප්‍රනාන්දු විසින් ඉංජිනේරු කටයුතු පිළිබඳවද, ගුවන් තොටුපළ සේවා කළමනාකරු (පුහුණු හා සංවර්ධන) තේරේකා තිලකවර්ධන විසින් ගුවන් තොටුපළ තුළ ගුවන් යානා හැසිරවීම පිළිබඳවද දැනුවත් කරන ලදි.
වැඩමුළුවේ දෙවැනි දිනය ආරම්භ වූයේ ගුවන් ගමන් සුරක්ෂිතතා කළමනාකරු කපිතාන් ශවන්ත පේද්‍රිස් සහ අර්බුද කළමනාකරණ කළමනාකාරිනී ප්‍රසාදිනී පෙරේරා විසින් සුරක්ෂිතතාව සහ අර්බුද කළමනාකරණය සම්බන්ධයෙන් පවත්වන ලද සැසියකිනි.

ඉන් අනතුරුව කාර්ය මණ්ඩල දායකත්ව සහ මානව සම්පත් සහය සේවා කළමනාකරු නිරෝෂන් රණවක, අලෙවි හා ව්‍යාපාර සංවර්ධන කළමනාකාරිනී ජයනි සේනානායක සහ ශ්‍රීලංකන් ඒවියේෂන් කොලේජ් හි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී කාලිංග හිරණ්‍ය අදාළ ක්ෂේත්‍රයන් සම්බන්ධ විවිධ මාතෘකා යටතේ අදහස් දැක්වූහ.
ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (ගුවන් ප්‍රවාහන සහ ආරක්ෂක රෙගුලාසි) රේහාන් වන්නිඅප්පා සහ ගුවන් තොටුපළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) සමාගමේ අලෙවි හා ආයතනික සන්නිවේදන ප්‍රධානී ආචාර්ය සුමිත් ද සිල්වා යන විසින් සිදුකරන ලද ඉදිරිපත් කිරීම්වලින් අනතුරුව වැඩමුළුවේ දේශන අවසන් විය.
මෙම වැඩමුළුවේදී ගුවන් සමාගම් සහ ගුවන් සේවා කර්මාන්තයේ මූලිකාංග පිළිබඳව එම ක්ෂේත්‍රයන්හි ප්‍රවීණයන් වෙතින් වටිනා කරුණු රාශියක් දැනගැනීමට හැකි විය.
වැඩමුළුව අවසානයේදී ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් 747 ගුවන් යානා අංගණයේ නිරීක්ෂණ චාරිකාවක යෙදීමට අවස්ථාව ලැබිණි. මේ සුවිශේෂී අත්දැකීම ජීවිතයට නව දැනුම් පරාසයක් එක් කළ බව ලියා තබමි.