හැටන් රංජිත් රාජපක්ෂ –
තලවකැලේ ග්‍රේට් වෙස්ටර්න් කඳු මුදුණේ අබිරහස් ලෙස මිය ගොස් සිටිය දී ඊයේ (01) හමුවුන හඳුනා නොගත් කාන්තාවකගේ මළ සිරුර සම්බන්ධයෙන් අංශ කිහිපයක් ඔස්සේ විමර්ශන ආරම්භ කර ඇති බව තලවකැලේ පොලිසිය පැවසිය.
ග්‍රේට් වෙස්ටර්න් කදු මුදුණේ කඳවුරු බැදිමට ඊයේ (01) පැමිණි තරුණ පිරිසක් කඳු මුදුණේ කාන්තා මල සිරුරක් තිබෙන බවට තලවකැලේ පොලිසියට කරන ලද දැනුම් දිමක් මත තලවකැලේ පොලිසිය එදින පස්වරුවේ ග්‍රේට් වෙස්ටර්න් කදු මුදුණට ගොස් මල සිරුර සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇත.
කිසියම් පිරිසක් සමග ජිවිතක්ෂයට පත් කාන්තාව ග්‍රේට් වෙස්ටර්න් කදු වැටිය තරණය කර ඇති බවත්, එහිදි එම කාන්තාව මිය යාමෙන් පසු සිරුර ග්‍රේට් වෙස්ටර්න් කඳු මුදුනේ තබා එම පිරිස පලා යන්නට ඇති බවත් සිරුර සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන තලවකැලේ පොලිසිය සැකකරයි.
ග්‍රේට් වෙස්ටර්න් මුදුණේ එක් පසක ප්රපාතය ආසන්නයේ මෙම මල සිරුර තිබෙන බවත්, සිරුර සම්බන්ධයෙන් නුවරඑලිය මහෙස්ත්‍රාත්වරයාගේ ස්ථාන පරික්ෂාවෙන් පසු සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සඳහා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන බවත් තලවකැලේ පොලිසිය පැවසිය.
ග්‍රේට් වෙස්ටර්න් කඳු වැටිය වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුවට අයත් රක්ෂිතයකි. උඩරට දුම්රිය මාර්ගයේ තලවකැලේ ග්‍රේට් වෙස්ටර්න් දුම්රිය ස්ථානය දක්වා පැමිණෙන ඇතැම් තරුණ පිරිස් ග්‍රේට් වෙස්ටර්න් රක්ෂිතය හරහා ග්‍රේට් වෙස්ටර්න් කඳු වැටියේ කදවුරු බැදිමට පැමිණෙති. එම පිරිස් කිසිදු අවසරයකින් තොරව රක්ෂිතයට ඇතුල් වි කදු මුදුණේ කදවුරු බදින බව නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මේ පිළිබඳව කළ විමසීමක දී පැවසීය.
ග්‍රේට් වෙස්ටර්න් කදු වැටියේ කදුවුරු බැඳීමට පැමිණෙන පිරිස් සදහා රක්ෂිතය තුළට ඇතුළු විමට නිසි ක්‍රමවේදයක් සකස් කිරිමට අද (02) දිනම වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුව සහ වනජිවි නිලධාරින් සමග සාකච්ඡා කරන බව දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් කීය.







