කොළඹ වරායේ නැංගුරම්ලා තිබූ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක අද (11) උදෑසන ගින්නක් හට ගෙන තිබේ.
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු මාධ්‍ය වෙත පවසා ඇත්තේ ගිනි නිවන ඒකකය ඇතුළු වරාය කාර්ය මණ්ඩලය සාර්ථකව ගින්න පාලනය කළ බවයි.
නෞකාවට සිදුවූ හානිය මෙතෙක් තක්සේරු කර නොමැති අතර, භාණ්ඩ ප්‍රවාහනයට සහ යාත්‍රාවට සැලකිය යුතු හානියක් සිදුව ඇති බව වාර්තා වේ. පහත දැක්වෙන්නේ ඒ ගින්න හටගත් අවස්ථාවය.
ස්විට්සර්ලන්තයේ ජිනීවා හි නෞකා සමාගමක ට අයත් එම නෞකාව සිංගප්පූරු වරායේ සිට කොළඹ වරායට පැමිණ තිබේ.
අනතුරුව බහාලුම් 995 ක් වරායට ගොඩ බා තිබේ. පසුව තවත් බහාලුම් 880ක් නෞකාවට පටවා ගන්නට නියමිතව තිබිය දී මෙම ගින්න හටගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ලෙස විෂය භාර අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා වරාය අධිකාරියේ නිලධාරීන් ට දැනුම් දී තිබේ.
පසුගිය බ්‍රහස්පතින්දා (08) චීනයේ කාර්යබහුලම වරායක්වන රටේ නැගෙනහිර Ningbo Zhoushan වරායේ නෞකාවක් තුළ ප්‍රබල පිපිරීමක් සහිත ගින්නක් හට ගත්තේය. පිපිරී යෑමට පෙර නෞකාවෙන් දුමක් වහනය වෙමින් තිබුණ අයුරු දැකිය හැකි විය. චීන රාජ්‍ය පුවත් ඒජන්සිය වාර්තා කළේ Ningbo Zhoushan වරායේ නැංගුරම්ලා තිබූ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක කන්ටේනරයක් පුපුරා ගිය බවය.







