ශ්‍රියානි විජේසිංහ –
කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයේ විකිරණ පරික්ෂණ මුළුමනින්ම ඇනහිට ඇතැයි වාර්තාවේ.
හදිසි අනතුරු අංශයේ තිබු විකිරණ ප්‍රතිකාර යන්ත්‍ර දෙකෙන් එකක් මීට වසරකට පමණ පෙර බිඳවැටී ඇති අතර ක්‍රියාකාරී තත්ත්වයේ පැවති අනෙක් යන්ත්‍රය ඊයේ (8) දහවල් බිඳවැටි ඇත.
මෙම යන්ත්‍ර දෙකම වසර විස්සකට වඩා වැඩි පැරණි යන්ත්‍ර බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදී සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම පවසා සිටියි.
හදිසි අනතුරුවලට ලක්වන රෝගීන්ගේ විකිරණ පරික්ෂණ යාබද ව පිහිටී විශේෂිත ස්නායු ඒකකයේ විකිරණ යන්ත්‍රය භාවිතයෙන් සිදුකළ අතර එම යන්ත්‍රයද ඊයේ සවස බිදවැටී ඇති බව සභාපතිවරයා පවසා සිටියි.
මේ අනුව හදිසි අනතුරුවලට ලක්වන පුද්ගලයින්ගේ විකිරණ පරික්ෂණයන් සිදුකර ගැනීම දැඩි අර්බුදයකට පත්ව ඇතැයි හෙතෙම පෙන්වාදේ.
මෙම යන්ත්‍ර බිඳවැටීම සම්බන්ධයෙන් දීර්ඝ කාලයක සිට අදාල බලධාරින් දැනුවත් කළද ඒ පිලිබඳ කිසිදු විධිමත් ක්‍රියාමාර්ගයක් නොගත් බැවින් මෙම නිලධාරින් සම්බන්ධයෙන් වහාම සොයා බලා දැඩි තින්දු තීරණ ගන්නා ලෙස සංගමය සෞඛ්‍ය ඇමතිවරයාගෙන් ඉල්ලීමක් කරයි.







