දිනසේන රතුගමගේ –
මුලතිව් වැලිඔය පොලිස් ස්ථානයේ අවී ගබඩාවෙන් රාජකාරී පිස්තෝලයක් ජීව උණ්ඩ නවයක් සමග හොරකම් කරණ ලද පොලිස් කොස්තාපල්වරයෙකු වැලිඔය පොලීසියේ නිලධාරීන් විසින් ඊයේ (1) අත් අඩංගුවට ගෙන තිබේ.
සැකකටයුතු පොලිස් කොස්තාපල්වරයා පදවිය මෛත්‍රීපර ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙකු වන අතර ඔහු අවි ගබඩාවෙන් පිස්තෝලය සොරා ගෙන පොලිස් ස්ථානයේම තැනක සඟවා තිබියදී පොලිස් නිලධාරීන්ට සොයා ගැනීමට හැකි වී තිබේ.
පොලිස් කොස්තාපල්වරයා පිස්තෝලය හොරකම් කොට ස්වල්ප වේලාවකට පසුව නිලධාරියෙකුට එම පිස්තෝලය නිකුත් කිරීම සඳහා අවි පෙට්ටිය පරීක්ෂා කරණ විට පිස්තෝලය අතුරුදහන්ව ඇති බව දුටු වැලිඔය පොලීසියේ නිලධාරීන් පොත්පත්වල සටහන් පරීක්ෂා කිරීමේදී එම පිස්තෝලය කිසිවෙකුටත් නිකුත් කොට නොමැති බව තහවුරු වී ඇත.
පසුව පිස්තෝලය සෙවීමේ පරීක්ෂණ කටයුතු වලදී එම පිස්තෝලය පොලිස් ස්ථානයේම වෙනත් ස්ථානයක සඟවා තිබියදී සොයා ගැනීමට හැකි වී තිබේ.
මෙම පිස්තෝලය ඔහු විසින් කිසියම් අපරාධයක් සිදුකිරීමේ අරමුණින් සොරා ගන්නට ඇතැයි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සැක පහළ කරණ අතර ඔහුගෙන් ඒ ගැන විමසීමේදී ඔහු පවසා අත්තේ ඌරකුට වෙඩි තැබීම සදහා එම පිස්තෝලය සොරා ගත් බවය.
සාමාන්‍යයෙන් පිස්තෝලයකින් වෙඩි තබා ඌරන් මැරීමක් සිදු නොකරන නිසා පොලිස් කොස්තාපල්වරයගේ ප්‍රකාශය පිළිගැනීමට නොහැකි බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීහු ප්‍රකාශ කොට සිටියි.
පිස්තෝලය සොරා ගන්නා ලද පොලිස් කොස්තාපල්වරයා කැබිතිගොල්ල්ලෑව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට වැලිඔය පොලීසියේ නිලධාරීන් පියවර ගෙන ඇත.







