ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ නව ප්‍රධාන ලේකම්වරයා වශයෙන් විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ අද (30) පැවති පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදී ඒකමතිකව තෝරා පත්කර ගෙන ඇත. ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ඉහළම නිළය මෙය වන අතර පක්ෂ නායකත්වය වශයෙන් සලකනු ලබන්නේ ද මෙම තනතුරයි.
වසර ගණනාවක් තිස්සේ ප්‍රධාන ලේකම්වරයා වශයෙන් කටයුතු කළ හිටපු අමාත්‍ය ඩිව් ගුණසේකර අද පැවති මධ්‍යම කාරක සභා රැස්වීමේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ප්‍රධාන ලේකම් ධුරයෙන් ඉල්ලා අස්විය. ඒ සමඟ පුරප්පාඩු වූ ප්‍රධාන ලේකම් ධුරයට මෙලෙස වෛද්‍ය ජී. වීරසිංහ ඒකමතිකව පත්කර ගෙන ඇත.
වෛද්‍ය ජී. වීරසිංහ සෝවියට් සංගමයේ වෛද්‍ය උපාධිධාරියෙකි. පසුව ලංකාවේ රෝහල් ගණනාවක සේවය කළ අතර, ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදේශකයෙකු වශයෙන් නැගෙනහිර ටිමෝරයේ ද සේවය කර ඇත. පසුගිය මාර්තු මස පූර්ණ කාලීන දේශපාලනය සඳහා වෛද්‍ය වෘත්තියෙන් ඉවත්වන විට ඔහු ජාතික ලිංගාශ්‍රිත රෝග මර්ධන ව්‍යාපාරය සහ ඒඩ්ස් නිවාරණ ව්‍යාපෘතියේ ජ්‍යෙෂ්ඨ විශේෂඥ වෛද්‍යවරයා ලෙස සේවය කළේය. ඔහු ගාල්ල මහින්ද විද්‍යාලයේ ආදි සිසුවෙකි.
පාසල් සමයේ සිට ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයට සම්බන්ධ ලංකා ජාතික ශිෂ්‍ය සංගමයට සම්බන්ධව ඔහු කටයුතු කළේය. ඉන් පසු කොමියුනිස්ට් තරුණ සම්මේලනයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වූ වෛද්‍ය ජී. වීරසිංහ 1979 වසරේ සිට පක්ෂයේ සාමාජිකත්වය ලබා ඇත. පසුකාලීනව පක්ෂයේ මධ්‍යම කාරක සභාවටත්, දේශපාලන මණ්ඩලයටත් තෝරාපත් කර ගැණුනු වෛද්‍ය ජී. වීරසිංහ අභිනව ප්‍රධාන ලේකම්වරයා වශයෙන් අද තෝරාපත් කර ගන්නා තුරු පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු ලේකම්වරයා විය.







