කොත්මලේ ජලාශයේ වාන් දොරටු පහෙන් වාන් දොරටු හතරක් අද (21) දින අලුයම විවෘත කළේය.
ඉහල කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලට ඊයේ (20) රාත්‍රියේ සිට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් එන දැවැන්ත ජල කඳ කළමනාකරණය කරගැනීමට විවෘත කර ඇති මෙම වාන් දොරටු හතරෙන් තත්පරයට ඝන අඩි 200 ක ජල ධාරිතාවක් කොත්මලාඔයට මුදා හරින බව නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් පැවසුවේය.
අඛණ්ඩව ජල පෝෂක පෙදෙස් වෙත වැසි ලැබුණහොත් එම ජලාශයේ සෙසු වාන් දොරටුව විවෘත වන බවත්, ඒ අනුව ඉහල කොත්මලේ ජලාශයේ වේල්ලට පහලින් කොත්මලාඔය දෙපස පදිංචිකරුවන් සැලකිලිමත්ව සිටින ලෙසත් ආපදා කළමනාකරණ ඒකකය දන්වා සිටී.

පවතින වර්ෂාවත් සමග හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිපයකම පස් කදු කඩා වැටී ඇත. පස් කදු කඩා වැටි ඇති ස්ථානවල රථ වාහන ගමනා ගමනය එක් මංතිරුවකට සිමා කර තිබේ.
මේ අධික වර්ෂාවත් සමග සෙන් ක්ලෙයාර් සහ ඩොවොන් දිය ඇලිවලින් පහලට ඇද හැලෙන ජල ධාරිතාව ඉහල ගොස් ඇත.







