පසුගිය මාර්තු මස කොහුවල, කළුබෝවිල ප්‍රදේශයේදී විදේශීය කාන්තාවක තියුණු ආයුධයකින් ඇන අමානුෂික ලෙස ඝාතනය කිරීමේ සිද්ධියට අවශ්‍යව සිටි ප්‍රධාන සැකකරු බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මූලස්ථානය නිවේදනය කළේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 26ක් වන චීන ජාතිකයෙකු බවයි.
ඉකුත් මාර්තු 23 වැනිදා කොහුවල පොලිස් වසමට අයත් කළුබෝවිල ප්‍රදේශයේ පිහිටි නිවාස සංකීර්ණයක (Apartment) කාමරයක් තුළදී මෙම විදේශීය කාන්තාව තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබුණි. මෙම කෲර ඝාතනයෙන් පසු සැකකරු ප්‍රදේශයෙන් පළාගොස් සැඟව සිටි අතර, සිද්ධිය සම්බන්ධයෙන් කොහුවල පොලිසිය සහ අපරාධ විමර්ශන අංශ එක්ව පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබිණි.
දින කිහිපයක් තිස්සේ සිදුකළ විමර්ශනවලින් අනතුරුව, බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ලද බුද්ධි තොරතුරකට අනුව ඊයේ (05) දහවල් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත. සැකකාර චීන ජාතිකයා කොල්ලුපිටිය, ශ්‍රීමත් අනගාරික ධර්මපාල මාවතේ පිහිටි හෝටලයක සැඟවී සිටියදී මෙලෙස පොලිස් දැලට කොටු වී තිබේ.
සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සතුව තිබී කැමරා 3ක් සහ ‘අයිස්’ (ICE) මත්ද්‍රව්‍ය ග්‍රෑම් 02යි මිලිග්‍රෑම් 20ක් ද පොලිස් නිලධාරීන් භාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මේ වන විට කොහුවල පොලිස් ස්ථානය වෙත භාර දී ඇති අතර, ඔහු අද (06) දින නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.







