අසේල කුරුළුවංශ –
කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව ප්‍රදේශයේ පිහිටි නිවසක් හා රොටී කඩයක් මතට විශාල ගලක් සමඟ පස් කන්දක් අද (22) පෙරවරු 8.45 ට පමණ කඩා වැටීමෙන් කඩය හිමිකාර පවුලේ පස් දෙනෙක් සහා රොටී කන්නට පැමිණ සිටි බවට අනුමාන කරනා 09 දෙනෙක් යට වී ඇති අතර ඉන් එක් අයෙක් මේ වනවිට මිය ගොස් තිබේ.
පස් කන්දට යට වූ සිවු දෙනෙක් මේ වනවිට ඉවතට රැගෙන රෝහල්ගත කර ඇති අතර මිය ගොස් ඇත්තේ ඉන් එක් අයෙකි. .
දුම්රිය මාර්ගයට පහළින් වූ විශාල ගලක් තවත් ගල් කිහිපයක් ද සමඟ නිවස හා කඩය මතට වැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙන බව මාවනැල්ල පොලීසිය පවසයි.
රොටී කෑම සදහා මෝටර් රථයකින් පැමිණි පිරිස මෝටර් රථය කඩය ඉදිරිපිට නවත්වා කඩයට ඇතුළු වී ඇති අතර මෝටර් රථයට ද හානි සිදුවී ඇත.
බැකෝ යන්ත්‍ර යොදා ගනිමින් සුන්බුන් ඉවත් කර නිවස හා කඩය තුළ සිරවී සිටින පිරිස බේරා ගැනීමට යුද හමුදාව, පොලීසිය හා එක්ව ප්‍රදේශවාසීන් මෙහෙයුමක් දියත්කර තිබේ.
ගල් පර්වතය සමඟ පස් කන්ද කඩා වැටීමෙන් නිවස හා රොටී කඩය සම්පූර්ණයෙන්ම සුන්බුන් ගොඩක් බවට පත්ව තිබෙන බව දක්නට ලැබිණි.
සිද්ධිය හේතුවෙන් නුවර පාර අවහිර වීම නිසා මහනුවර කොළඹ ප්‍රධාන මාර්ගයේ අධික වාහන තදබදයක් නිර්මාණය වී ඇත.
පොලිසිය මහ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ පහළ කඩුගන්නාව ප්‍රදේශය මගහැර යෑම සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙසය.
අධික වර්ෂාවත් සමඟ නාය යෑමේ අවදානමක් පවතින දිස්ත්‍රික්කයක් ලෙස මහනුවරද නම් කිරීමට කාලගුණ විද්‍යා දෙපාර්තමේනත්තුව මේ වනවිට කටයුතු කර තිබේ.







