කොළඹ වරාය ආසන්නයේදී ගිනිබත් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව අත්අඩංගුවට ගැනීමේ නියෝගයක් අද (07) කොළඹ වානිජ මහාධිකරණය විසින් නිකුත් කරන ලදී.
ට්‍රයිකෝ මැරයින් සර්විසස් ආයතනය විසින් මෙම නෞකාවේ ප්‍රවාහනය කරන ලද බහලුම් හයකට අදාළ වන්දි නොගෙවීම හේතුවෙන් කොළඹ වානිජ මහාධිකරණය හමුවේ ගොනු කරන ලද නඩුවකට අනුව මෙම තීන්දුව ලබා දුන් අතර මෙම අනතුරෙන් පසුව මෙම නැව අත්අඩංගුට ගැනුණු ප්‍රථම අවස්ථාව මෙය වේ.
ට්‍රයිකෝ මැරයින් සර්විසස් ආයතනය මැද පෙරදිග වෙසෙන ශ්‍රි ලාංකික ශ්‍රමිකයන් ගේ භාණ්ඩ මෙරට ගෙන්වීමේ සේවාවක් කරන අතර මෙම බහලුම් 6ක කිලෝ ග්‍රෑම් 128000ක බරකින් යුතු මෙරට ශ්‍රමිකයන් විසින් තම පවුල් වෙත එවන ලද භාණ්ඩ ඇතුළත්ව ඇති අතර ඊට අදාළ ව සමාගම විසින් ඉල්ලා සිටි ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 6ක වන්දිය ගෙවීම පැහැර හැරීම මත මෙම නඩුව ගොනු කෙරුණු බව ට්‍රයිකෝ සමාගම වෙනුවෙන් මෙම නඩුවට පෙනී සිටින වානිජ නාවික කටයුතු පිළිබඳ නීති විශේෂඥයකු වන ආචාර්ය ඩෑන් මාලික ගුණසේකර ලංකාසරට පැවසීය.
මෙම නැව අදාළ රක්ෂණ නියෝ ජිතයන්ගේ අනුග්‍රහය ද සහිතව පවතින තැනින් ඉවත් කරගෙන යකඩ සඳහා කැපීමට සූදානම්ව පැවැති බවත් අදාළ මුදල ගෙවන තෙක් මෙම නැව අත්අඩංගුවට ගන්නා ලෙස තමන් අධිකරණයෙන් ඉල්ලා සිටි බවත් සඳහන් කළ ආචාර්ය ගුණසේකර මෙම අදාළ නියෝගය වානිජ නාවික සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත යැවෙන අතර ඒ අනුව නැව අත්අඩංගුවට පත් වන බවත් සඳහන් කළේය.







