අනුරාධපුර පර්සි කුරුනේරු –
උතුරුමැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් මෙවර දෙවන වාර පරීක්ෂණයට අදාලව ඉකුත් 20 වෙනිදා පැවති හය ශ්‍රේණිය ඉතිහාසය විෂය ප්‍රශ්න පත්‍රයේ පිළිතුරු පත්‍රයට ලකුණු ලබාදිය හැකි ආකාරය සම්බන්ධයෙන් උපදෙස් ලබා නොතිබීම නිසා එම පිළිතුරු පත්‍ර පරීක්ෂා කරන ගුරුවරුන් දැඩි අපහසුතාවයට පත්ව ඇති බව ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත කුමාර පැවැසීය.
මේ අතර එම ප්‍රශ්න පත්‍රයේ දෙවන කොටසේ පිළිතුරු ලිවීමේදී දී ඇති උපදෙස් අනුව ලකුණු දුනහොත් ගැටලු කීපයක් පැන නගින බවත් හෙතෙම කීය.
මෙය පළාතක අධ්‍යාපනය ලබන සිසු දරුවන්ගේ දැනුම විශ්ලේෂණය කරන ප්‍රශ්න පත්‍රයක් බැවින් වගකිවයුත්තන් ඒ පිළිබඳව මෙතරම් නොසැලකිල්ලෙන් කටයුතු කරන්නේ මන්දැයි ගැටලුවක් බව සභාපතිවරයා පවසයි.
නැගෙන චෝදනාව සම්බන්ධයෙන් උතුරුමැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ (විභාග) ඒ.සී.කේ.ප්‍රියංකරගෙන් විමසීමට අද (22) ඔහුගේ ජංගම දුරකථනයට අවස්ථා කීපයකදී ඇමතුම් ලබා ගැනීමට උත්සාහ කළ මුත් ඔහු ඊට ප්‍රතිචාර නොදැක්වීය.