ලබන මාසයෙන් ආරම්භ වන ශ්‍රී ලංකා මහා බැංකු අධිපතිවරයාගේ නව ධූර කාලය සඳහා ද තමා සේවය කිරීමට ඇති කැමැත්ත මේ වන විට රජය වෙත දන්වා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.
බීබීසි පුවත් සේවය සමඟ මහ බැංකු අධිපතිවරයා මේ බව පවසා ඇත්තේ මහ බැංකු අධිපති ධූරයේ කටයුතු කළ අජිත් නිවාඩ් කබ්රාල්ගේ හදිසි ඉල්ලා අස්වීමෙන් පසුව ඉතිරි ධූර කාලයට පත් වූ ආචාර්ය වීරසිංහයන් එම වසර 6 ක ධූර කාලය මෙම මස අවසානයත් සමඟ අවසන් වෙන බැවින් ඉදිරි ධූර කාලයට පත්වෙන්නේ ද යන්න විමසූ අවස්ථාවේදී ය.
මහ බැංකු අධිපතිවරයෙකු වසර හයක ධූර කාලයක් සඳහා පත් කෙරෙන අතර 2016 ජූනි 30 වෙනිදා මෙවර ධූර කාලය ඇරඹිණි. ඒ සඳහා ප්‍රථමයෙන් පත් කෙරුණේ ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි ය. ඔහු 2019 දෙසැම්බර් මාසයේ දී ඉල්ලා අස් වූ අතර නව රජයේ මහබැංකු අධිපතිවරයා ලෙස මහාචාර්ය ඩබ්ලිව් ඩී ලක්ෂ්මන් මහතා පත් විය. ඔහු ද අධිපති ධූරයෙන් ඉල්ලා අස් වූ අතර ඉන්පසු 2021 සැප්තැම්බර් 15 වෙනිදා පත් වූයේ අජිත් නිවාඩ් කබ්රාල් ය. ඔහු ද 2022 අප්‍රේල් 04 වැනිදා ඉල්ලා අස් වූ අතර නන්දලාල් වීරසිංහ ඉන්පසු මහ බැංකු අධිපතිවරයා ලෙස පත් විය.
මම මේ ධූරයට පත්වන විට මට මාස දෙකක් පමණක් සේවය කරලා ආපහු යන්න හිතුවේ නෑ… එහෙම නම් මම මෙතෙන්ට එන්නෙත් නෑ.. මෙතන තිබෙන ප්‍රශ්නය අපිට මාස දෙකකින් විසඳිය හැකි එකක් නෙමෙයි.. මෙම ආර්ථික තත්ත්වය යහපත් වෙන්න කලින් අපිට තවත් අසීරු තත්ත්වයන්ට මුහුණ දෙන්න සිදු වෙයි… යනුවෙන් ද ආචාර්ය වීරසිංහ මෙහිදී අදහස් දක්වමින් සඳහන් කර තිබේ.
මෙහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ණය ලබා ගැනීම පිළිබඳව ද බීබිසියට අදහස් දක්වා ඇති මහ බැංකු අධිපතිවරයා එම අරමුදලින් මෙම වසර තුළ ඩොලර් බිලියන 5ක් අපේක්ෂා කරන බව ද සඳහන් කර තිබේ. අප මේ ගමන කලින් ගියා නම් මෙපමණ අසීරු තත්ත්වයකට පත් වන්නේ නැතුව විසඳුම් සොයා ගත හැකිව තිබූ බව ද එසේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත නොයෑම ශ්‍රී ලංකාවේ සිදු වූ අත්වැරැද්දක් බව ද සඳහන් කර ඇත.