මේ වනවිට කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව අධිකරණය ඉදිරියේ ඇති කුප්‍රකට නඩුවට සම්බන්ධ මානව ඉමියුනොග්ලොබියුලීන් එන්නත් තොගයෙන් කොටසක් රජය විසින් යළි රෝහල් වෙත මුදා හැරීමට කටයුතු කර ඇති බවට සපුරා ව්‍යාජ ප්‍රවෘත්තියක් වාර්තා කර රටේ සෞඛ්‍ය සත්කාර සේවා සම්බන්ධව බරපතල සමාජ භීතියක් ඇති කළ පුද්ගලික නාලිකාවකටත්, එම නාලිකාව පල කර ව්‍යාජ ප්‍රවෘත්තිය පදනම් කරගෙන සමාජ මාධ්‍ය ඔස්සේ විශාල බියවැද්දීමක් කළ පුද්ගලයින්ටත් එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට සියලුම පියවර ගෙන ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස අද කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී පැවසුවේය.
කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ හියුමන් ඉමියුනොග්ලොබියුලීන් එන්නත මේ දක්වා අවශ්‍යතාවය මත විටින් විට ආනයනය කරන ඖෂධයක් බවය. කහෙළිය රඹුක්වැල්ල සිදුකළේ ඉමියුනොග්ලොබියුලීන් ආනයනය කිරීම නොව මොකක්දෝ එකක් මේ රටේදී නිශ්පාදනය කර ඉන්දියාවෙන් ඉමියුනොග්ලොබියුලීන් ගෙන්වූ ආකාරයට ප්‍රසම්පාදන ලේඛන සකස් කර රටේ රෝහල් පද්ධතියට එකතු කිරීමේ ජාවාරමක් යැයි ඇමතිවරයා පැහැදිලි කළේය.
ඖෂධ සම්බන්ධව යම් යම් ගැටලු ඇතිවන විට එම ඖෂධ තොග තාවකාලිකව භාවිතයෙන් ඉවත් කර විධිමත් විද්‍යාත්මක පරීක්ෂණයක් පවත්වා එහි ප්‍රතිඵල මත නියතවම ඉවත් කිරීම හෝ යළි එම ඖෂධ සෞඛ්‍ය පද්ධතියට එකතු කරගැනීම නිශ්චිත විද්‍යාත්මක ක්‍රියාවලිය බව පැවසූ කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේ මෑතක දී ඉන්දිනු සමාගමකින් මෙරටට ආනයනය කළ හියුමන් ඉමියුනොග්ලොබියුලීන් එන්නතක් සම්බන්ධව වාර්තා වූ සිද්ධියක් මත එම තොගය භාවිතය අත්හිටුවා ඉන්දියාවේ සහ ලංකාවේ පරීක්ෂණාගාරවල විධිමත් පරීක්ෂණයකින් එහි ප්‍රමිතිය තහවුරු කරගත් බවය.
ප්‍රමිතියේ ගැටලුවක් නොවූ බැවින් එම අත් හිටවූ ඖෂධ තොගය යළි මුදා හළ බව ඇමතිවරයා පැහැදිලි කළේය.
එක්තරා මාධ්‍ය නාලිකාවක්… ඇත්තටම මම ඉතාම කණගාටුයි කියන්න. විශේෂයෙන්ම මාධ්‍ය වාර්තා කිරීමේ දී ජාතික ආරක්ෂාව මහජන සෞඛ්‍ය වගේ සංවේදි විෂයයන් වාර්තා කිරීමේ දි කාටත් මාධ්‍ය ආයතනවලටත් වගකීමක් තියනවා.
ඒ මාධ්‍ය ආයතනය ඉතාම පැහැදිලිවම, කාගෙවත් වොයිස් කට් එකක් හැටියට නෙමෙයි, ඒ ආයතනය මගින් පල කරන ප්‍රවෘත්තියේ නිවේදකයාගේ කටින් කියවුනේ එම ඖෂධ තොගය භාවිතයෙන් ඉවත් කිරීමට පියවර ගත් අතර, එම ඖෂධ ගෙන්වා රෝගීන්ට ලබා දීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාද නීතිය හමුවට රැගෙන යනු ලැබුවා.
කෙසේ වෙතත් භාවිතයෙන් ඉවත් කරන ලද ඉමියුනොග්ලොබියුලීන් ඖෂධවලින් කොටසක් යළි භාවිතයට ගැනීමට ඖෂධ නියාමන අධිකාරිය පියවර ගෙන තියනවා…
මේ කියන්නේ මොකක්ද?. කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයාට නීතිය හමුවට යන්න හේතු සාධක වෙච්ච ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධ තොගය ඖෂධ නියාමන අධිකාරිය විසින් යළිත් භාවිතයට ගන්න අවසර දුන්නා කියන එක.
එතකොට මේක මම හිතන්නේ නෑ නොදැන කරපු වරදක් කියලා. බොහොම පැහැදිලිව වංචනිකව, ද්වේශ සහගතව මේ රටේ මනුෂ්‍යයින්ට මහජන සෞඛ්‍ය සඳහා ඇති විශ්වාසය බිඳලන්න කළ ද්වේශ සහගත වැඩක් ලෙසයි අප සලකන්නේ. මොකද මේක තවම නිවැරදි කරගෙන නෑ ඒ මාධ්‍ය ආයතනය. මේකෙන් යම් වික්ෂිප්ත භාවයක් මහජන කැළඹීමක් ඇති වෙලා තියනවා.
මේ ප්‍රවෘත්තිය පදනම් කරගෙන මහින්ද පතිරණ වගේ අය ඊට පස්සේ සමාජ මාධ්‍යවල පේජ්වල යූ ටියුබ්වල අදහස් දක්වලා තිබුණා කෙහෙළිය රඹුක්වැල්ලට හිරේ යන්න උන හියුනොග්ලොබියුලීන් තොගය මේ ආන්ඩුව විසින් භාවිතා කරන්න අවසර ලබා දුන්නා කියලා. මේක මාධ්‍ය අවභාවිතා කිරීමක් නොවෙයි, මාධ්‍යවලට අවසර ලබා දීමේ දී එකඟවන ලද මහජන සෞඛ්‍ය සම්බන්ධවූ එකඟතාවයේ විශ්වාසය කඩ කරලා තියනවා. ඒ නිසා මා විශ්වාස කරනවා ඒ ආයතනයට කියනවා මේක නිවැරදි කරන්න කියලා. කොහොම වුනත් දැනුම්වත්වම මේ හදන්න හදපු වැරදි සහගත ප්‍රවෘත්තිය පිළිබඳ පරීක්ෂණ කරන්න කියලා සහ මේ වැරදි සහගත ප්‍රවෘත්තිය මත පදනම්ව සමාජ මාධ්‍යවල බොරු භීතියක් ඇති කළ අයට එරෙහිව නෛතික පියවර ගන්න කියලා අපි අදාල නීති අංශ දැනුම්වත් කරලා තියෙන්නේ. “







