දිනසේන රතුගමගේ –
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත් අඩංගුවට ගෙන සිටින ඉන්දීය ධීවරයින් වහාම නිදහස් කරණ ලෙස ඉල්ලමින් රාමේස්වරන් ධීවරයෝ ඊයේ (16) දා සිට වර්ජනයක නිරත වී සිටිති.
ඉන්දීය රාමේස්වරන් ධීවරයෝ මුහුදු යාමෙන් වැළකී ඔවුන්ගේ යාත්‍රා වෙරළේ නවතා මෙම වර්ජනය දියත් කොට තිබේ.
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පසුගිය 13 දා රාත්‍රියේ ඉන්දීය ධීවරයින් 17 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ගෙන් රාමේෂ්වරම් ප්‍රදේශයේ පුද්ගලයින් 8 දෙනෙකු රාමේස්වරන් ධීවරයින් වන අතර ඉතිරි 9 දෙනා පුදුකෝට්ටේ ධීවරයෝය.
මෙම ධීවරයින් පැමිණි යාත්‍රා පහක් නාවික හමුදා බාරයේ ඇති අතර රාමේස්වරන් ධීවරයෝ ඔවුන්ගේ වර්ජනය තුළින් ඉල්ලා සිටින්නේ එම යාත්‍රාද නිදහස් කරණ ලෙසයි.
2023 වසරේ මේ දක්වා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඉන්දීය ධීවරයින් 110 දෙනෙකු හා ඔවුන්ට අයත් යාත්‍රා 17 ක් අත් අඩංගුවට ගෙන ඇති අතර ධීවරයින්ගෙන් නඩු විභාග කළ පිරිස නිදහස් කරන ලද නමුත් ඔවුන්ට අයත් යාත්‍රා නිදහස් නොකළ බවද රාමේස්වරන් ධීවරයෝ කියා සිටිති.