හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ලබා දී ඇති ආරක්ෂාව අඩුකළ බවට සිදුකරන ප්‍රකාශ මුලුමනින්ම අසත්‍ය බවත් 1986 අංක 4 දරන ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනතට අනුව කොළඹ 07 විජයරාම නිල නිවස, විශ්‍රාම වැටුප, පුද්ගලික පරිහරණය සඳහා මර්සිඩීස් බෙන්ස් කාර් රථය, ලෑන්ඩ් කෘසර් ජිප් රථය සහ මර්සිඩීස් බෙන්ස් ජිප් රථය, එම වාහන සඳහා රියදුරුන් ඇතුළු මූලික වරප්‍රසාද සහිතව ආරක්ෂාව සඳහා යුද සහ නාවික හමුදාවට අමතරව පොලිසියේ නිලධාරීන් 180ක් යොදවා ඇති බවත්, රජය නිවේදනය කරයි.
එම නිවේදනය පහත දැක්වේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ ආරක්ෂාව අඩු කර ඇති බවට පළ වන මාධ්‍ය වාර්තා පිළිබඳ ජනාධිපති කාර්යාලයේ අවධානය යොමුව තිබේ.
එම සියලු වාර්තා අසත්‍ය බවත්, 1986 අංක 4 දරන ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනතට අනුව ජනාධිපති කාර්යාලය මගින් ඔහුට පහත ප්‍රතිලාභ ලබා දී තිබෙන බවත් ජනාධිපති කාර්යාලය දැනුම් දෙයි.
ඒ අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට විශ්‍රාමික ජනාධිපතිවරයෙකුට හිමි විශ්‍රාම වැටුප හිමි වන අතර කොළඹ 07 විජේරාම මාවතේ නිල නිවස සහ ලේකම් දීමනාව ඔහුට හිමි වේ.
එමෙන්ම දැනට වාහන 03ක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලබා දී ඇති අතර Mercedes Benz -600 maybatch (B/P) car 2008, Toyota Land Cruiser – 2017, Mercedes Benz – G63 AMG 4*4 2850 jeep 2013 යන වාහන 03 ඔහු වෙනුවෙන් වෙන් කර තිබේ. ඒ සඳහා මාසික ඉන්ධන දීමනාව ලෙස ලීටර් 1950 ලබා දෙන අතර එම වාහන සඳහා රියදුරන් තිදෙනෙකු නිදහස් කර ඇත.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අවශ්‍ය ආරක්ෂාව සැපයීම ආරක්ෂක අමාත්‍යංශය හා මහජන ආරක්ෂක අමාත්‍යංශය මගින් සිදු කරනු ලබයි. ඒ වෙනුවෙන් යොදවා ඇති යුද හමුදා සාමාජිකයන් අතර කොමාන්ඩෝ නිලධාරීන් තිදෙනෙක්, සෙසු නිලයන් 37ක් සහ වෙනත් ඒකක නිලධාරීන් සිව් දෙනෙක් හා සෙසු නිලයන් 19ක් සිටින අතර ඒ අනුව සමස්ත යුද හමුදා නිලධාරීන් 07දෙනෙක් සහ සෙසු නිලයන් 56ක් ඒ මහතාගේ ආරක්ෂාව සඳහා යොදවා තිබේ. අමතරව පොලිස් නිලධාරීන් 180 දෙනෙක් යොදවා ඇති අතර ඒ අතර පොලිස් රියදුරන් 29 දෙනෙක් සිටිති.
හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද පිළිබඳව ඇගයීම සඳහා මේ වන විට කැබිනට් අනු කමිටුවක් ද පත් කර ඇති අතර එම කමිටුවේ නිර්දේශ අනුව ඉදිරියේ දී මේ සම්බන්ධව තීන්දු තීරණ ගැනීමට සහ කටයුතු කිරීමට නියමිතය.





