දිනසේන රතුගමගේ –
දැනට බන්ධනාගාර ගත කොට සිටින ඉන්දීය ධීවරයින් 23 දෙනා නිදහස් කරන තුරු ඉන්දියාවේ රාමේස්වරන් දේශයේ ධීවරයින් කච්චතිව් ශාන්ත අන්තෝනී දෙව්මැදුරේ පැවැත්වෙන වාර්ෂික මංගල්ලය වර්ජනය කරන බව රාමේස්වරන් ධීවර සංගමේ ප්‍රධානී ජේසුදාසන් ඊයේ (17) ඉන්දීය මාධ්‍යයට ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් යාත්‍රා දෙකක් සමග අත් අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් 23 දෙනෙකු බන්ධනාගාර ගත කරන ලෙස යාපනයේ ඌර්කාවතුරේ අධිකරණය මගින් තීන්දු කිරීම දැඩි අසාධාරණයක් බව රාමේස්වරන් ධීවර සංගමයේ ප්‍රධානියා කියා සිටියේය.

මීට පෙර අත් අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් යාපනයේ අධිකරණ මගින් නිදහස් කළ නමුත් මෙවර ඉන්දීය ධීවරයින් සම්බන්ධයෙන් දැඩි අධිකරණමය ක්‍රියාදාමයක් අනුගමනය කිරීම නිසා ඊට ධීවරයින්ගේ විරෝධය පලකිරීම පිණිස කච්චතීව් වාර්ෂික මංගල්ලය වර්ජනය කිරීමට රාමේස්වරන් ධීවර සංගමය තීරණය කළ බව ඔහු පැවසීය.
කච්චතීව් දූපතේ පිහිටි ශාන්ත අන්තෝනී දේවස්ථානයේ වාර්ෂික මංගල්ලය මෙවර පෙබරවාරී මස 23 හා 24 යන දිනවලදී පැවැත්වෙන අතර ඊට ඉන්දීය බැතිමතුන් 4000 කට පමණක් සහභාගී වීමට අවසර ලබා දී තිබේ.
ශාන්ත අන්තෝනී මුනිදුන් ධීවර කර්මාන්තයට අධිපති දෙවියන් ලෙස සැලකීම නිසාත් කච්චතීව් දූපත 1973 වසර දක්වාම ඉන්දියාවට අයත් දූපතක් විමත් නිසා ඉන්දීය ධීවරයින් මෙම වාර්ෂික මංගල්ලයට සහභාගී වීමට අනාදිමත් කාලයක සිට පුරුදුව සිටිති.







