මනම්පිටිය නිමල් ජයරත්න –
කොළොන්නාවේ සිට මඩකලපුව බලා ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබූ දුම්රියකට කොළඹ මඩකලපු ප්‍රධාන දුම්රිය මාර්ගයේ මින්නේරිය රොටවැව හන්දියේ 146 වැනි දුම්රිය සැතපුම් කණුව ආසන්නයේදී අද 24 අළුයම 5.30 පමණ වනඅලියෙකු ගැටීමෙන් එම අලියා මියගොස් ඇති බව මින්නේරිය වනජීවි නිලධාරිීන් සඳහන් කරයි.
මින්නේරිය ජාතික උද්‍යානය සිට ආහාර සොයා පැමිණ ආපසු ජාතික වනෝද්‍යානට යමින් සිටි අලියා එම ස්ථානයේම ජීවිතක්ෂයට පත්වී ඇති බව මින්නේරිය වනජීවි නිලධාරී කාර්යාලයේ නිලධාරියකු අප කළ විමසීමකදී පැවසීය.
වයස අවුරුදු 30ක් පමණ මෙම වන අලියා උස අඩි අටහමාරක් පමණ වන සද්දන්තයෙකි. අලියාගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු 24 වෙනිදා ගිරිතලේ වනජීවී පශු වෛද්‍ය නිලධාරින් විසින් සිදුකිරීමට නියමිත බවද මින්නේරිය වනජීවි නිලධාරීන් සඳහන් කරයි.
මෙම අනතුරෙන් ඉන්ධන ප්‍රවාහනය කළ දුම්රියට හෝ දුම්රිය මාර්ගයට කිසිදු අනතුරක් සිදු වී නොමැති අතර දුම්රියේ වැදුණු වන අලියා මීටර් දහයක් පමණ ඉදිරියට ඇදි දුම්රිය මාර්ගයෙන් ඉවතට විසිවී ගොස් ඇති බවද මින්නේරිය වනජීවි නිලධාරීහු සඳහන් කලහ.








