දිනසේන රතුගමගේ
යාපනය අලිමංකඩ ලුණු ලේවායේ ලුණු අස්වැන්න නෙලීම සැප්තැම්බර් මාසයේ මුල් සතියේ සිට ආරම්භ කළ හැකි බව එම ලුණුලේවායේ සහකාර කලමනාකරු එස්. මුරුගානන්දන් මහතා 26 දා පැවසීය.
මෙවර මෙම ලුණු ලේවායෙන් ලුණු මෙට්‍රික් ටොන් 5000 ක් පමණ නෙලා ගත හැකි බවත් එකම අර්බූදය වී ඇත්තේ එවැනි විශාල ලුණු තොගයක් ගබඩා කිරීම සදහා ප්‍රමාණවත් අන්දමට ගබඩා පහසුකම් නොමැතිකම බවත් ඔහු කියා සිටියේය.
නොවැම්බර් මාසය ආරම්භයත් සමගම යාපනයේ අලිමංකඩ ප්‍රදේශයට දැඩි වර්ෂාවක් ලැබෙන නිසා ඊට පෙර ලුණු නිෂ්පාදන අස්වැන්න ගබඩා කිරීම හෝ අලෙවි කොට අවසන් කිරීම සිදු කළ යුතුව ඇතැයිද ඔහු කියා සිටියේය.
ශ්‍රී ලංකාවේ දැනට නිෂ්පාදනය කෙරෙන දියලුණු අතරින් ඉතාම ඉහළ මට්ටමක පවතින ලුණු නිෂ්පාදනය වන්නේ අලිමංකඩ ලුණු ලේවායෙනි.
ගබඩා පහසුකම් නොමැති වීමට අමතරව ලුණු නිෂ්පාදන කාර්යන්වල නිරත වීමට පළතේ තරුණ තරුණියන් තුළ එතරම් උන්නදුවක් නොමැති වීමද විශාල ප්‍රශ්නයක් වී ඇති බව කී සහකාර කලමනාකාරවරයා ලුණු ලේවායේ වසරේ දින 365 තුළම රැකියා අවස්ථාව නොතිබීම ඊට බලපා ඇති ප්‍රධාන හේතුව බවද කියා සිටියේය.
අලිමංකඩ ලුණුලේවායේ නිෂ්පාදිත ලුණු තොග දේශීය අවශ්‍යතා මත පමණක් භාවිත කිරීම වෙනුවට ලුණු ආනයනය කිරීමට පියවර ගන්නේ නම් මීට වඩා විශාල ආර්ථිකයක් අලි මංකඩ ලුණු ලේවායෙන් රටට ලබා ගත හැකි බව සහකාර කලමනාකාරවරයා වැඩිදුරටත් කියා සිටියේය.