අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් කණිෂ්ක විජේරත්න සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත භාරදී ඇති බව ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.
අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරල්වරයාගේ පත්වීම අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් අද (07) සලකා බැලූ අවස්ථාවේදී වගඋත්තරකාර අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා මේ දැනුම් දීම සිදුකළේය.
නීතිඥවරයා අධිකරණයට කීවේ සිය සේවා දායකයා යළිත් අධිකරණ සේවයට එක්වීමේ අභිලාෂයෙන් අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවය.
මාධ්‍යවේදී රුවිනි ෆොන්සේකා සහ ට්‍රාසන්ෆේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය විසින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට එරෙහිව මෙම පෙත්සම ගොනු කර තිබුණේ ඔහුගේ පත් වීම සිදු වී ඇති ආකාරය නීතියට පටහැනි බවත් ව්‍යවස්ථාවට පටහැනි බවත් කියමිනි. ඔහු ධූරයෙන් ඉවත් කරන ලෙස ඉල්ලා පෙත්සම්කරුවන් මෙම පෙත්සම ගොනු කර තිබිණි.
ප්‍රීති පද්මන් සූරසේන, කුමුදුනි වික්‍රමසිංහ සහ ජනක් ද සිල්වාගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සමක් කැඳවනු ලැබීය.







