රට තුළ පවතින ආහාර හිඟය හේතුවෙන් ශ්‍රී ලාංකිකයන් පරිභෝජනය කරන ආහාර ප්‍රමාණය 60% කින් පමණ අඩු කොට ඇති බව දත්ත මඟින් තහවුරු වන බව ජාතික ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ජනාධිපති උපදේශක ආචාර්ය සුරේන් බටගොඩ පවසයි.
ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය පිළිබඳ ඒකාබද්ධ යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීමේ වැඩසටහනට එක්වෙමින් එම වැඩසටහනට සමගාමීව දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් සමඟ පැවති සාකච්ඡාවකදී ආචාර්ය සුරේන් බටගොඩ මේ බව ප්‍රකාශ කළේය.
මෙහිදී ඔහු නිලධාරීන්ට උපදෙස් දී ඇත්තේ මේ තත්වය තවදුරටත් පැහැදිළි කර ගැනීමට ගෙයින් ගෙට ගොස් තොරතුරු රැස් කරන ලෙසය.
ශ්‍රී ලංකාවේ කිසිවකු කුසගින්නේ නොසිටිය යුතු බවට ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇති බවත්, ඊට විසඳුමක් ලෙස ප්‍රජා මුළුතැන්ගෙයි වැඩසටහන හරහා ප්‍රමාණවත් තරම් ආහාර නොමැති පුද්ගලයින්ට ආහාර ලබාදීමට සැලසුම් කර ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
රටේ පවතින ආහාර අර්බුදයට රජයේ නිලධාරීන් අර්ධ වශයෙන් වගකිව යුතු බවද වෛද්‍ය බටගොඩ කීවේය.
මේ අතර එක්මත් ජාතීන්ගේ නිත්‍ය වොසික නියෝජිත හැනා සිංගර් ඊයේ යලිත් වරක් ලෝක ප්‍රජාවගෙන් ඉල්ලා සිටියේ ආහාර, සහ ඖෂධ හිඟයෙන් පෙළෙන ශ්‍රි ලංකාවේ ජනතාවට ඉක්මනින් ආධාර ලබා දීමට ශ්‍රි ලංකාවේ මිතුරන්ගෙන් ඉල්ලා සිටින බවය.







