රටට ආදරයක් ඇතිනම් මාස හයක් ඇතුළත පාර්ලිමේන්තුව විසුරුවා නව මැතිවරණයක් පවත්වන ලෙස ආචාර්ය වලවාහැංගුනවැවේ ධම්මරතන හිමියෝ පැවසූහ.
අද ආශීර්වාද ලබා ගැනීමට මිහින්තලේ රජ මහා විහාරයට ගිය අගමැතිවරයාට දීර්ඝ අනුශාසනාවක් පවත්වමින් නායක හිමියන් පැවසුවේ එවැනි ප්‍රවේශයකට නොගියහොත් අරගලය නවත්වා ගත නොහැකි බවය.
අගමැතිවරයා ප්‍රමුඛව මේ ගමනට එක්වූ අනුරාධපුරයේ දේශපාලකයින්වන ශෙහාන් සේමසිංහ එස්එම් චන්ද්‍රසේන, දුමින්ද දිසානායක ඇතුලු පිරිස ඉදිරියේ තබාගෙන අගමැතිවරයා අමතමින් උන්වහන්සේ පැවසුවේ ක්‍රිකට් කණ්ඩායම සේ එක්සත්ව වැඩ කිරිමට පාර්ලිමේන්තුවේ 225 සූදානම් නැති බවත්, අතිශය ජනතා අප්‍රසාදයට පත් වී ඇති මේ දෙසීය විසිපහේ වළටත් ජනතාව හෙණ ඉල්ලන බවත්ය.
නාහිමියෝ මෙසේ ද පැවසූහ.
“වර්තමානයේ අපි මානසික කායික වශයෙන් මහා පීඩාවට පත්වෙලා ඉන්න ජාතියක්. වගකියන්න ඕන රට පාලනය කළ ඔබතුමාලා ඇතුළු ඔක්කොම. පක්ෂ ප්‍රතිසංවිධානය කරනවා මේ වෙලාවෙ. පක්ෂ නොවෙයිනෙ ප්‍රතිසංවිධානය කරන්න ඕන අපේ අගමැති තුමා. ප්‍රතිසංවිධානය කරන්න ඕන රටේ ජනතාවගෙ සුබ සිද්ධියනෙ.“
“තාත්තලා පුතාල, පුතාල තාත්තලා, හිටපු නායක නායිකාවන්ගෙ දරුවො දැන් දේශපාලන කරන්නෙ. ඒ අය තමයි දැන් රට බාර අරන් ජනාධිපතිකම ගන්න හිතන් ඉන්නෙ.එහෙම ගන්න පුලුවන් ද?. දෙනවද අපි එහෙම. ඔය 225ටම දැන් කැමති නෑනෙ මිනිස්සු… රාජ්‍ය ඇමතිකම් තිස් අටක් දුන්නා. තවත් ඉස්සරහට දෙනවලු. මේ අය ස්වේච්ඡාවෙන් වැඩ කළොත් මොකද වෙන්නෙ. අපිට එක වාහනයක් ඇති. අපි කෑම එක ගෙදරින් අරන් එන්නම්. කෝ ඒ ආදර්ශ…“
“ඔබතුමාලට දෝෂාරෝපණය කරනවා නෙමෙයි. දෝෂාරෝපණය කරලා වැඩකුත් නෑ. සමස්ථ රටේම ජනතාව ඔබතුමාලට විරුද්ධයි. නිරායුධ මිනිස්සුන්ට අරලියගහ මන්දිරයෙන් එළියට ඇවිත් ගහන්න පටන් ගත්තට පස්සෙ එතැනින්නෙ මේ සියලු දේ සිදුවුනේ.“
“පස්සෙ සංවිධානාත්මක පිරිස් ගෙවල් ගිනි තිබ්බා. ඒ ගිනි තියනකොටත් සමහර අයගෙ ගෙවල්වල ගෑස් තිබ්බා. පොහොර තිබ්බා. අගමැති තුමනි. මේ සියල්ලම තියෙන්නෙ දේශපාලකයින් ගාව. ගොවිතැන් කරන්නෙ, තැබෑරුම් දාන්නෙ හෝටල් දාන්නෙ වෙළඳාම් කරන්නේ ඔක්කොම දේශපාලකයො. සමාන්‍ය මිනිස්සුන්ට මොකක්වත් නෑ. ඒත් බදු ගහනකොට සාමාන්‍ය මිනිස්සුන්ට තමයි බෙල්ලට ලනුව දාන්නේ.“
“ජල – විදුලි බිල් බලන්න. මටනම් එහෙම විදුලි බිල් ගෙවන්න බෑ. එතකොට මිහින්තලේ අඳුරෙ තමයි තියෙන්නෙ. ජනාධිපති තුමා කිව්වා ක්‍රිකට් ටීම් එක හොඳයි කියලා. ක්‍රිකට් ටීම් එක හොඳ වුනේ ඒ අය එක්කාසු වෙලා ඔක්කොම හොඳට කළ නිසා. පාර්ලිමේන්තුවෙ 225 මේ කපේට එක්සත් වෙන්නෙ නෑ. වලටත් එක්ක හෙණ ගහපන් කියලනෙ මිනිස්සු කියන්නෙ
රටට ආදරේනම් මාස හයක් ඇතුළත මහ මැතිවරණයකට යන්න. එහෙම නොවුනොත් මේ අරගලය නවත්වන්න බැරි වෙයි.