පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් අනවශ්‍ය ලෙස කලබල නොවිය යුතු බවත්, මිද්දෙනියේ දී අත් අඩංගුවටපත් ද්‍රව්‍ය සම්බන්ධව තවමත් පරීක්ෂණ ආරම්භ වූවා පමණක් බැවින් ඉදිරියේ දී අත් අඩංගුවට පත්වන්නේ කවුද නැද්ද යන්න අදාල විමර්ශනවලට අනුව පොලිසිය විසින් හෙළිදරවු කරනා කරුණු අනුව උසාවිය මාර්ගයෙන් සිදුවනු ඇති බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේය.
අද කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී ඉදිරියේ දී මිද්දෙනිය සිද්ධිය සම්බන්ධව පොදුජන පෙරමුණේ නිශ්චිත දේශපාලකයන් අත් අඩංගුවට ගැනීමට සූදානම් දැයි ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඇමතිවරයා පැවසුවේ දැනට මේ සිද්ධිය සම්බන්ධව අත් අඩංගුවට පත් වී ඇත්තේ පොදුජන පෙරමුණේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් සහ අත් අඩංගුවට ගැනීමට සොයන්නේ පොදු ජන පෙරමුණේ ප්‍රාදේශීය සභා අපේක්ෂකයෙක් බවය.
“ දැනට අත් අඩංගුවට පත් වී සිටින අත් අඩංගුවට ගැනීමට සොයන පුද්ගලයින් දෙදෙනා පොදුජන පෙරමුණට සම්බන්ධ දෙදෙනෙක්. මේ චෝදනාව එල්ල වූ වහාම පොදු ජන පෙරමුණ පක්ෂ සාමාජිකත්වය එක් පුද්ගලයෙකුගේ අහෝසි කළා තමයි. ඒ ක්‍රියාවලියේ එම පුද්ගලයාගේ සම්බන්ධය පොදුජන පෙරමුණ එක් පැත්තකින් පිළි අරන් තියනවා. මොකද ඒ පක්ෂයේ ඇතැම් ඇමතිවරු බන්ධනාගාරයේ සිටිද්දීත් එම පක්ෂ සාමාජිකත්වය අහෝසි කළේ නෑ.”
“ සම්පත් මනම්පේරි රවිරාජ් ඝාතනයේ සැකකරුවෙක්. ඔහු පොලිසියේත් සේවය කරලා තියනවා. බුද්ධි අංශවලත් කටයුතු කරලා තියනවා. තවත් අපරාධ වැලක් ඔහුට එරෙහිව තිබෙනවා. දැන් අප දන්න දේ තමයි මනම්පේරි පවුලත් එක්ක තංගල්ල, මිද්දෙනිය පැත්තේ හිටපු දේශපාලකයින් සමීප ඇසුරක් පවත්වාගෙන ගියා කියන කාරණාව. දැන් ඔහුගේ පක්ෂ සමාජිකත්වය අහෝසි කර ප්‍රමාණවත් නෑ. තමන්ගේ සමීපතමයා පොලිසියට භාර දීලා මේ නීති කටයුතු කරන්නට සහාය ලබා දෙන එක පොදුජන පෙරමුණේ නායකයින්ගේ වගකීමක්.
මේ අවස්ථාවේ දී මෙම ප්රශ්නය විමසූ මාධ්‍යවේදිනිය මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් ඇසුවේ ජාතික ජන බලවේගයේ ජාතික ලයිස්තු සාමාජිකයෙක් ලෙස සිටි ඊබ්රහීම්ගේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සිද්ධියේදී හෝ ඔහුගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට ජාතික ජන බලවේගය කටයුතු නොකළ බවත් නමුත් මේ සිද්දිය සැලවූ වහාම සම්පත් මනම්පේරිගේ පක්ෂ සාමාජිකත්වය පොදු ජන පෙරමුණ විසින් තහනම් කළ බවත්ය.
ඊට පිළිතුරු දුන් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේ ඔහු ඒ අවස්ථාව වනවිට රටේ ප්‍රධාන ව්‍යාපාරිකයෙක් ලෙස ජාතික ලයිස්තුවෙන් ජාතික ජන බලවේගය වෙනුවෙන් ඉදිරිපත් වූවා මිස ඔහුට අහෝසි කිරීමට පක්ෂ සාමාජිකත්වයක් නොතිබුණ බවය.







