-
තමන්ගේ පාරිභෝගිකයින්ට ලාෆ් ගෑස් සැපයීම එම සමාගමේ වගකීමක්… කෘත්‍රිම හිඟයක් මවන්න හැදුවොත් වැඩ වරදියි… ඇමතිගෙන් අනතුරු ඇඟවීමක්!
-
එළඹෙන සඳුදා සිට සෑම දිනකටම ලිට්රෝ ගෑස් සිලින්ඩර ලක්ෂයක් වෙළෙඳපලට….
අද (21) දිනයේදී පමණක් දියර පෙට්‍රෝලියම් (LP) ගෑස් සිලින්ඩර් 50,000ක් වෙළඳපොළට නිකුත් කිරීමට පියවර ගන්නා බව වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතාව සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ පවසයි.
ඊයේ දිනයේදී ද ගෑස් සිලින්ඩර් 80,000ක් වෙළඳපොළට මුදා හැර ඇති අතර, එළඹෙන සඳුදා සිට අඛණ්ඩව දිනකට ගෑස් සිලින්ඩර් 100,000 බැගින් නිකුත් කිරීමට සැලසුම් කර ඇති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් අනාවරණය කළේය.
ගෑස් සැපයුම විධිමත් කිරීම සඳහා ඉදිරියේදී මෙරටට ලැබීමට නියමිත නෞකා පිළිබඳව ද අමාත්‍යවරයා කරුණු පැහැදිලි කළේය. ඒ අනුව මෙට්‍රික් ටොන් 3,700ක ගෑස් රැගත් නෞකාවක් හෙට දිනයේදී දිවයිනට ළඟා වීමට නියමිතය. මීට අමතරව පෙබරවාරි 26 වනදා තවත් මෙට්‍රික් ටොන් 3,900ක තොගයක් සහ පෙබරවාරි 28 වනදා තවත් මෙට්‍රික් ටොන් 3,700ක් රැගත් නෞකා මෙරටට පැමිණීමට නියමිතව ඇත.
මෙහිදී කහ පැහැති ගෑස් සිලින්ඩර් භාවිතා කරන පාරිභෝගිකයන් මුහුණ දී ඇති ගැටලු පිළිබඳව ද අමාත්‍යවරයා සිය අවධානය යොමු කළේය.
එම පාරිභෝගිකයන් අදාළ සමාගම වෙත ආරක්ෂිත තැන්පතු සහ නියමිත මුදල් ගෙවා ඇති බැවින්, ඔවුන්ට අවශ්‍ය ගෑස් සැපයීම අදාළ සමාගමේ වගකීමක් බව ඔහු අවධාරණය කළේය.
කිසියම් පාර්ශවයක් කෘතිම හිඟයක් මවාපාමින් පාරිභෝගිකයන් සූරාකෑමට හෝ අයුතු ලාභ ලැබීමට උත්සාහ කරන්නේ නම්, ඔවුන්ට එරෙහිව රජය දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ද අමාත්‍යවරයා මෙහිදී අනතුරු ඇඟවීමක් කළේය.
පවතින හිඟය හමුවේ කහ පැහැති ගෑස් සිලින්ඩර් හිමියන්ට ඒවා නිල් පැහැති සිලින්ඩර් සඳහා හුවමාරු කර ගැනීමට පවතින අපහසුව සලකා බලා රජය විශේෂ තීරණයක් ගෙන ඇත.
ඒ අනුව, ලිට්රෝ ගෑස් ලංකා සමාගම විසින් ලබන මාර්තු මස 12 වනදා සිට සිය නිල් පැහැති සිලින්ඩර් වෙළඳපොළට නිකුත් කිරීමට සැලසුම් කර ඇත. එමගින් දැනට අපහසුතාවයට පත්ව සිටින පාරිභෝගිකයන්ට කහ පැහැති සිලින්ඩර වෙනුවෙන් ලිට්රෝ ගෑස් ලබා ගැනීමට අවස්ථාව සලසා දීමට නියමිතය.







