කොටදෙණියාවේ වත්තේමුල්ල, බාඳුරාගොඩ ප්‍රදේශයේ දී අතුරුදන් වූ දරුවන් දෙදෙනා කාන්තාවක් විසින් මීරිගම පොලීසියට අද පෙරවරුවේදී රැගෙන විත් භාරදී තිබේ.
එම කාන්තාව පොලීසියට සදහන් කර ඇත්තේ මීරිගම පොලිස් වසමේ ඇති තමන්ට අයත් වෙළද සැලක් අසල මෙම දරුවන් දෙදෙනා ඊයේ සවස රැදී සිටි බවය.
ඔවුන් තමාගෙන් කන්නට යමක් ඉල්ලා සිටිබවත් තමා ඔවුන් දෙදෙනාව නිවසට රැගෙන ගොස් නහවා පිරිසිදුකර අලුත් ඇදුම් ලබාදී කන්න බොන්න දී නිවසේ රාත්‍රියේ තබාගෙන අද පොලිස් ස්ථානයට රැගෙ පැමිණි බව ඇය සදහන් කර ඇත.
අවුරුදු 10 සහ 12 වයස්වල පසුවන මෙම දරුවන් දෙදෙනා පදිංචිව සිටියේ එකම නිවසකය.
ඥාති දරුවන් වන ඔවුන් සමග කොටදෙණියාවේ නිවසේ දරුවන් 10 දෙනෙක් ජීවත්ව ඇත. ඉකුත් නොවැම්බර් මාසයේදී නිවසින් අතුරුදන්වන මෙම දරුවන් දෙදෙනා දින 44 ක් මෙසේ අතුරුදන්ව සිටියේය.
පොලීසිය මෙම දරුවන්ගෙන් ඒ ගැන විමසා ඇතත් ඔවුන් කිසිවක් නිසි ලෙස මෙතෙක් පවසා නැත. මීගමුවේ සිට බස් රථයකින් මීරිගමට පැමිණි බවක් පමණක් ඔවුන් පවසා තිබේ.
මෙම දරුවන් දෙදෙනාගේ අතුරුදන්වීම ඔවුන්ගේ පවුලේ උදවිය එතරම් බැරූරුම් ලෙස සොයා බැලීමක් නොකල අතර දිගින් දිගටම ඒ ගැන සොයා බලන්නට වූයේ ජන මාධ්‍ය මගිනි.
මෙම දරුවන් ගැන සෙවීමේ වගකීම පොලිස්පති නියමයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරනු ලැබීය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල සහ මිනීමැරුම් විමර්ශන ඒකකය විසින් විමර්ශන ආරම්භ කිරීමත් සමඟ මෙසේ මෙම දරුවන් දෙදෙනා මීරිගමින් මතුවිය.
කොටදෙණියාවේ දරුවන් අතුරුදහදන් වී සති 05ක්… කිසිම තොරතුරක් නෑ… පොලිසිය යළිත් ජනතා සහය පතයි!