රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් අසාධු ලේඛන ගත කරන ලද කෞෂික් ෆාමසියුටිකල්ස් නම් ඉන්දීය ඖෂධ සමාගමින් ලියාපදිංචි නොකළ ඖෂධ ලබා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශයේ බලවතුන් විසින් දරන ලද උත්සාහ ව්‍යවර්ථ වී ඇති බව සඳහන් වේ.
ඉන්දීය ණය සහන යෝජනා ක්‍රමය යටතේ මෙරටට ගෙන්වීමට උත්සාහ දරන ලියාපදිංචි නොකළ ඖෂධ ගෙන්වීම සඳහා මෙම සමාගමද තෝරා ගෙන තිබුණද සමාගමේ පෙර පැටිකිරිය මත එම සමාගමට අනුමැතිය ලබා දිය නොහැකි බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය තරයේ ප්‍රතික්ෂේප කිරීම ඊට හෙතු වී ඇති බවත් මේ සඳහා වෛද්‍ය ප්‍රජාවගෙන් එල්ල වූ විරෝධයද බලපෑ බවත් සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ගයක් ලංකාසරට අනාවරණය කළේය.
කෞෂික් ෆාමසියුටිකල් ආයතනයේ ඖෂධ නිෂ්පාදන ප්‍රමිතීන් පරීක්ෂා කිරීමට පසුගිය දෙසැම්බර් මාසයේදී අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ද සංචාරය කළ අතර ඔහුට සුපිරි හෝටලයක නවාතැන් ඇතුළු සංචාරය සඳහා අනුග්‍රහය අදාල ඖෂධ සමාගම් නියෝජිතයන් විසින් ලබා දුන් බවට දේශපාලන පක්ෂවලින් දැඩි විචේනයක් එල්ල විය.
එම විවේචන හමුවේ අමාත්‍යවරයා පැවසුයේ ජනතාවට ගුණාත්මක තත්ත්වයේ ඖෂධ ලබා දීම සඳහා පරීක්ෂා කිරීමට ඔහු සිය පෞද්ගලික මුදල් වියදම් කර මෙම සමාගම නිරීක්ෂණයට ගිය බවය.
පවතින විදේශ විනිමය අර්බුදය හමුවේ ඉන්දීය ණය සහන ක්‍රමය භාවිත කරමින් මෙරටට අවශ්‍ය ඖෂධ ගෙන්වීම සඳහා උත්සාහ කරන සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු අමාත්‍යංශ බලධාරීන් මේ සඳහා කෞෂික් ෆාමසියුටිකල් සහ සේවරි යන සමාගම් දෙක පමණක් තෝරාගෙන ඇති අතර එම සමාගම්වලින් ලියාපදිංචි නොකළ සාර්ථකත්වය සහ ආරක්ෂාව පිළිබඳව ඇගයීමක් නොකළ ඖෂධ වර්ග 300කට ආසන්න ප්‍රමාණයක් ගෙන්වීමට කටයුතු කර ඇති බවට ඊයේද ශ්‍රි ලංකා වෛද්‍ය සංගමය ඇතුළු විශේෂඥ වෛද්‍ය සංගම් චෝදනා කළහ.
එම වෛද්‍යවරුන් අවධාරණය කළේ අත්‍යවශ්‍ය ඖෂධ රැසක අඩුපාඩු පවතිද්දී කිසිදු විමසීමකින් තොරව මෙරට ලියාපදිංචි නොකළ ඖෂධ මෙන්ම අත්‍යවශ්‍ය නොවන ඖෂධ වර්ග ගණනාවක්ද විදේශ ණය මුදල් වැය කර ගෙන්වීමට උත්සාහ දැරීම විශාල අපරාධයක් සහ අනතුරක් බවයි.







