අත්බෝම්බයක් රැගෙන හසලක නගරයේ පුද්ගලික පන්තියකට පැමිණි පාසල් සිසුවෙක් පිළිබඳව හසලක පහේ ඇලෙන් වාර්තා වී ඇත.
හසලක ප්‍රදේශයේ පාසලක 11 ශ්‍රේණියේ ඉගනුම ලබන වයස අවරුදු 15ක පමණවන මේ දරුවා අත් බෝම්බයත් රැගෙන තමන් සහභාගීවන පුද්ගලික පන්තියට ගොස් ඇතැයි හසලක පොලිසිය පවසයි.
ජීව අත් බෝම්බය දුටු පුද්ගලික පන්ති ගුරුවරයා වහාම ආරක්ෂිතව එම අත් බෝම්බය පොලිසියට භාරදීමට කටයුතු කර තිබේ.
දරුවා පවසා ඇත්තේ සිය නිවසට ආසන්නයෙන් ගලා බසින ඇලක දිය නාමින් සිටියදී ඉවුරක තිබී අත් බෝම්බය හමුවූ බවය. බෝම්බය හමුවූ බව සිසුවා සිය දෙමව්පියන්ට පවසා නැත. එය සඟවා තබාගෙන නිවසේ සිට කිලෝ මීටර පහක් දුරින් පිහිටි හසලක නගරයේ උපකාරක පන්තියට පැමිණ උපකාරක පන්ති ගුරුවරයාට එය ලබා දී තිබේ.
එය ජීව අත් බෝම්බයක් බව තහවුරු කරගත් ගුරුවරයා පෙරේදා (17) සවස ආරක්ෂිතව එය රැගෙන විත් පොලිසිය වෙත ලබා දී ඇත.
හසල පොලිසිය අත් බෝම්බය හමුවූ ස්ථානයට ගොස් ස්ථානීය පරීක්ෂණයක් සිදුකර තිබේ. පොලිස් භාරයට ගත් අත්බෝම්බය විශේෂ කාර්ය බලකාය හරහා නිශ්ක්‍රීය කිරීමට අධිකරණයෙන් අවසරය ලබාගෙන ඇත. – හසලක සුනිල් ඒකනායක







