ලංකාසර විශේෂ ආරක්ෂක වාර්තාකරු විසිනි –
13 වැනිදා සවස අකුරේගොඩ කීල්ස් සුපිරි වෙළෙඳසලේ රථ ගාලේ දී නීතිඥ බුද්ධික මල්ලවආරච්චි සහ ඔහුගේ බිරිඳ වන නිසංසලා වෙල්ලාල ආරච්චි වෙඩි තබා ඝාතනය කෙරිනි. ඝාතකයින් දෙදෙනෙක් ටී 56 ගිනි අවියකින් සහ පිස්තෝලයකින් වෙඩි තබා ඔවුන් දෙදෙනාව ඝාතනය කරන අයුරු සීසීටීවී දර්ශනවල සටහන්ව තිබුණේය. ඝාතකයෝ පලා ගියහ.
සිද්ධිය වූ වහාම කොළඹ විශේෂ අපරාධ විමර්ශන කණ්ඩායම් දෙකක් වෙඩික්කරුවන්ගේ වාහනය පැමිණියේ කොතැන සිටදැයි බැලීමට වාහනය පැමිණි මාර්ගය ඔස්සේ ආපස්සට ඇති සීසීටීවී දර්ශන ඔස්සේ විමර්ශන ඇරඹූහ. තවත් කණ්ඩායමක් වාහනය පලා ගිය ආකාරය සොයමින් සීසීටීවී විමර්ශන ආරම්භ කළහ.
වාහනය අකුරේ ගොඩට පැමිණි මාර්ගය විමර්ශනය කරන විශේෂ විමර්ශන කණ්ඩායමට ඝාතකයින් ඝාතන ඉලක්කය වෙත පැමිණෙන්නට කලින් අසල එක්තරා ස්ථානයක දී වාහනය ආසන්නයට පැමිණෙන අයෙක් වාහනයට යමක් ලබා දෙන ආකාරය නිරීක්ෂණය විය. වහාම එම සැකකටයුතු පුද්ගලයින් පැමිණි වාහනය හඳුනාගෙන එම වාහනයේ හිමිකාරිත්වය සොයා ගැනුණි. වාහනය ලියාපදිංචි වී තිබුණේ කාන්තාවක නමටය.
එම කාන්තාව ඇමතූ විමර්ශකයින්ට දැනගන්නට ලැබුණේ වාහනය පන්නිපිටියේ වාහන කුලියට දෙන ස්ථානයකට කුලියට ලබා දී ඇති බවය. එම ආයතනයෙන් තොරතුරු විමසනවිට අනාවරණය වන්නේ පුද්ගලයෙක් විසින් දින තුනක් සඳහා වාහනය කුලියට ලබාගෙන ඇති බවය. වාහන කුලියට දෙන ආයතනය විසින් එම වාහනයට ජීපීඑස් තාක්ෂණය ඇතුළත් කර තිබිණි. වාහනය ඒ මොහොතේ තිබෙන තැන සම්බන්ධව ඒ හරහා නිශ්චිතව දැනගත හැකි විය.
ඝාතන සහායක සොයුරන්
ඒ අනුව මෝටර් රථය සොයා ගැනුණි. ඒ ඊයේ දිනයේ මහරගමදීය. රථයේ ගමන් කරමින් සිටි සොහොයුරන් දෙදෙනෙක් ද අත් අඩංගුවට පත් විය. 20 හැවිරිදි නදුන් කවීෂ සහ 24 හැවිරිදි සනෝජ් කෝකිල අත් අඩංගුවට පත් වූ දෙදෙනා බව කියැවිනි.
මේ සොහායුරන් දෙදෙනාගෙන් කෙනෙක් ඝාතකයින්ගේ වාහනයට ආයුධ සැපයන ආකාරය සීසීටීවී දර්ශනවලින් තහවුරු තැනැත්තාය. අනෙකා වාහනය පදවාගෙන පැමිණි පුද්ගලයාය. ඔවුන් දෙදෙනාත් වාහනය කුලියට ලබා ගත් තැනැත්තාත් විමර්ශකයින්ගේ අත් අඩංගුවට පත් විය.
ප්‍රශ්න කිරීමේ දී අනාවරණය වන්නේ මේ සොහොයුරන් දෙදෙනා මේ ඝාතනයට වක්‍රාකාරයෙන් සම්බන්ධ වුවත් මේ මරන්නේ කවුද, මරණ ඉලක්කය නීතිඥයෙක් ද නැද්ද, මරන්නේ කොතැනද, ඝාතකයින් කවුද යන්න පිළිබඳ කිසිවක් නොදැන සිටි බවය. උන්ට කරන්දෙණිය සුද්දාගේ වැඩක් ඇති බවටත් එය කළ යුතු බවටත් වූ පණිවිඩයක් පමණක් ලැබී ඇති බව දැනට අනාවරණය වී ඇත.
13 දා උදේ ඩුබායි රාජ්‍යයෙන් පැමිණි දුරකථන ඇමතුමකින් අංගොඩදී බඩු ටිකක් ලැබෙන බවත් එම බඩු ටික ඝාතකයින්ගේ වාහනයේ අංකය සඳහන් කර එම වාහනයට අකුරේගොඩ ප්‍රදේශයේ දී ලබා දිය යුතු බවත් දන්වා තිබේ. අනාවරණය වන ආකාරයට මුන් දෙන්නා කර තිබුණේ එම කොන්ත්‍රාත්තුවය.
ඔවුන්ට අදාල ප්‍රවාහන කොන්ත්‍රාත්තුව භාර දී අංගොඩ දී ගිනි අවි ගෙනත් දී තිබුණේ “පොල්ගස්ඕවිට ඩිලා” නැමැත්තෙකි. බස්නාහිර දකුණ දිසා අපරාධ කොට්ඨාසය අද (17) සවස ඔහුව අත්අඩංගුවට ගනු ලැබිය. පොල්ගස්ඕවට ඩිලා 28 හැවිරිදි පුද්ගලයෙකි. ඩිලාට “සුද්දයියාගේ වැඩක් “ බව කියමින් මෙම ගිනි අවි මෙහෙයුම භාර දෙන්නේ “මෝදර නිපුන”සහ “මල්වානේ ටුටූ” නැමැත්තන් බව විමර්ශන අංශ හෙළි කරගෙන ඇත.
සැකකරුවන්ට නීතිඥවරු නෑ
අද කඩුවෙල උසාවියට මේ සැකකාර දෙසෝයුරන් ඉදිරිපත් කෙරිනි. එක් නීතිඥයෙක්වත් ඔවුන් වෙනුවෙන් පෙනී සිටියේ නැත. නීතිඥ තර්කය අනුව සෑම සැකකරුවෙක්ම අධිකරණය ඉදිරියේ වැරදිකරු වනතුරු නිර්දෝෂී පුද්ගලයෙකි. එබැවින් සෑම පුද්ගලයෙකුටම අධිකරණය කටයුතුවල දී නීතිඥ සහාය ලබා ගැනීමට ව්‍යවස්ථාපිත අයිතියක් තිබේ. නීතිඥවරයෙකුට ද සේවාදායකයෙක් සිදුකරන ඉල්ලීමක් ඉටු කිරීම සඳහා යම් මූලික කොන්දේසි කීපයකට යටත්වූ වෘත්තීය බැඳීමක් තිබේ.
වින්දිත නීතිඥවරයා වෙනුවෙන් නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය ඇතුළු නීතිඥවරු සියකට වැඩි පිරිසක් පෙනී සිටියහ. නමුත් සැකකරුවන් වෙනුවෙන් එක් නීතිඥවරයෙක් හෝ පෙනී සිටියේ නැත. පොලිසිය අධිකරණයෙන් ඉල්ලූ පරිදි පැය 48ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර ලැබිණි.
කල්පනා කළ යුතු කරුණු කීපයක්
මේ ඝාතකයින්ගේ හැසිරීම සහ ඔවුන්ගේ ඉරියව් විමර්ශනය කරද්දී විමර්ශකයින් එක් කරුණක් සලකුණු කර තිබේ. අම්බලන්ගොඩ සිංගර් ප්‍රදර්ශනාගාරයේ කළමනාකරු ඝාතනයට කරන්දෙණිය සුද්දා විසින් මෙහෙයවනු ලැබු ඝාතකයාගේ හැසිරීමට සමාන හැසිරීම් සහ අංග චලන නීතිඥවරයා ඝාතනයේ ඝාතකයෙක් විසින් දක්වා සිටීමය.
සිංගර් කෝසල ඝාතනයේ දී මුල් අවස්ථාවේ දී ගිනි අවිය පත්තු වූයේ නැත. ඒ මොහොතේ කෝසල ඔහු පසුපස පන්නාගෙන ආවේය. ඝාතකයා පලා නොගොස් ගිනි අවිය මාරු කරගෙන පැමිණ කෝසලට පන්න පන්නා වෙඩි තිබ්බේය. ඔහු ප්‍රකට කළ මිනී මැරීමේ දී චකිතයකින් තොරවීමේ ස්වරූපය සහ අංග චලන අනුව මේ ඝාතකයින් දෙදෙනාගෙන් කෙනෙක් සිංගර් කෝසලගේ මිනී මරුවා දැයි විමර්ශන අංශවලට සැක පහළ වී තිබේ.
දැන් කල්පනා කළ යුත්තේ කෝසල මැරීමට මිනී මරුවන් පැමිණියේ කොතැන සිට ද යන්නය. උන් පැමිණ තිබුණේ හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ මහනුවර පිහිටි නිවසේ සිටය. දේශබන්දුගේ නිවසේ වහළය අලුත්වැඩියා කරදී තිබුණේ කරන්දෙණියේ සුද්දා විසින් බව විමර්ශකයෝ අනාවරණය කර ගත්හ. සුද්දා සිය මිනීමරුවන්ගේ ආරක්ෂිත නිවස කරගෙන තිබුණේ හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ නිවසය.
අනෙක් වෙඩික්කරුවාත් එම නිවසේ ආරක්ෂාව සලසාගත් එකෙක් වීමට බොහෝ දුරට ඉඩ ඇති බව විමර්ශන අංශ පවසයි. තේරුම් ගත යුත්තේ දේශබන්දුගේ පොලිසියෙන් ඉවත් වී ඇත්තේ දේශබන්දු පමණක් බවය.
දේශබන්දු සහ කුඩු සළිඳු සම්බන්ධව විශාල කතාවක් තිබිණි. සළිඳු විසින් මෙහෙයවූ කුප්‍රකට ඝාතනය වූ පානදුර ධීවර කාර්මිකයාට වෙඩි තැබීමේ සිද්ධියේ සාක්ෂි හැංගීමට විමර්ශන යට ගැසීමට කුඩු සළිඳු රටින් පැන්නීමට, සළිඳුගේ ඝාතකයෙක් වූ පියුමා රටින් පැන්නීමට දේශබන්දු සහ ඔහුගේ සට්ටැඹි පොලිස්කාරයින් ගැසූ ගේම ගැන වරෙක අප විසින්ම ප්‍රශ්න කර තිබේ. අවසානයේ දී දැවැන්ත මෙහෙයුමක් කර අල්ලාගෙන පැමිණි කුඩු සළිඳුට ඇප ගන්නට සලස්වා ඔහුව රටින් පිට කරන ක්‍රියාවලිය පසුපස නෛතික අවකාශය අවභාවිතා වී ඇතිදැයි පුරවැසියාට සාධාරණ සැකයක් මතු වෙමින් ඇත.
හරක්කටා රඳවා ගත් ආකාරයට කුඩු සළිඳු රඳවාගෙන ප්‍රශ්න කිරීමට බැරි වුනේ ඇයි?. සළිඳු සියඹලා ගෙනත් නැද්ද?. නැතිනම් ඔහු ගෙනත් තිබුණේ දේශබන්දුගේ සියඹලා ද? මේ ප්‍රශ්න අධිකරණයක් ඉදිරියේ විමසා බැලීමට හැකි විමර්ශන පෞරුෂයක් සහිත පොලිසියක් රටට අවශ්‍යව තිබේ.
පොලිසියේ ඉහළම ඇවරියේ ඉන්න උන්ගේ වත්කම් පිළිබඳ නිසි විමර්ශනයක් කරන්නට තරම් කොන්දක් සහිත ආණ්ඩුවක් වේ නම් අප බයිලා කියමින් සිටින්නේ මොනවගේ සමාජයක් තුළ දැයි තේරුම් ගත හැකිය. අද ඇතැම් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට තමන් උපයා ගෙන ඇති වත්කම් පිළිබඳව සාධනීය ඔප්පු කළ හැකි ද යන ප්රශ්නය උන්ගේ පැටිකිරිය ගැන දන්නා සමාජ කණ්ඩායම් තුළ ඇත. දේශබන්දුලා හරහා අනාවරණය වෙමින් ඇත්තේ මේ තුච්ඡ අඳුරු ලෝකයේ ස්වභාවය ය.
ආණ්ඩුව නිදහසේ වැඩ කරන්නට දී ඇත්තේ මේ පොලිසියට බවත් මේ අවස්ථාවේ දී සිහි කළ යුතුය.
නීතිඥවරුන්ගේ වෘත්තීය හැසිරීමට පාතාලය තර්ජනය කළා ද?
දෙවැනි කාරණාව මේ වනවිට ව්‍යවස්ථාපිත වෘත්තීය අයිතීන් වෙනුවෙන් පාරට බැස සිටින ගෞරවනීය නීතිඥ මහත්වරුන්ට කිව යුතු එකකි.
අප විශ්වාස කරන පරිදි මේ ව්‍යවස්ථාපිත වෘත්තීය අයිතිය සම්බන්ධව පාතාලයට හෝ මේ ජන සමාජයට ප්‍රශ්නයක් නැත. සරත් අඹේපිටිය ඝාතනය කළ ඝාතකයා මෙහෙයවූ පොට්ට නවුෆර් වෙනුවෙන් ජනාධිපති නීතිඥ ටිරාන් වලලියැද්ද පෙනී ඉඳීම පාතාලයට ප්‍රශ්නයක් වූයේත් නැත. සමාජයට ප්‍රශ්නයක් වූයේත් නැත. අධිකරණ භූමිය තුළ අපරාධකරුවන් ඝාතනයවනවිට ඒ අපරාධකරුවන් වෙනුවෙන් සහ ඔවුන් ඝාතනය කළ අපරාධකරුවන් වෙනුවෙන් නීතිඥවරු පෙනී සිටින විට පාතාලයට හෝ සමාජයට ගැටලුවක් පැන නැගුනේ නැත. ගණේමුල්ලේ සංජීව ඝාතනයට සම්බන්ධ වූ නීතිඥවරිය වෙනුවෙන් නීතිඥවරු පෙනී සිටින විට පාතාලයටවත් නීතිඥයින්ටවත් සමාජයටවත් ප්‍රශ්නයක් වුනේ නැත. පාතාල අපරාධකරුවන් වෙනුවෙන් පෙනී සිටිමින් උන්ගේ කළු සල්ලි වෘත්තීය ගාස්තු සේ රුපියල් මිලියන ගණනින් අයකරගන්නා විට පාතාලය හෝ සමාජය ඒ ගැන කතා කළේ නැත.
ඇත්ත නම් පාතාලයට වෙන කවර වෘත්තිකයෙකුටත් වඩා අවශ්‍ය වන්නේ නීතීඥවරුන් බවය. පාතාල ගැටුම් අතරට වෘත්තීය මට්ටමින් කටයුතු කරන නීතිඥවරු සම්බන්ධ කරගන්නවා නම් අද නීතිඥවරුන්ගෙන් වැඩි ප්‍රමාණයක් පාතාලයෙන් වෙඩි කා මිය ගොස්ය.
ප්රශ්නය ඇත්තේ වෙන තැනක විය යුතු බව මේ උගත් නීතිඥවරුන් කල්පනා නොකරන්නේ මන්දැයි අපට වැටහෙන්නේ නැත. මේ සිද්ධිය රටේ නීතියට එල්ල කළ බලවත් ප්‍රහාරයක් බව කියන්නට පෙර, සිය වෘත්තියට එල්ල වූ මරු පහරක් බව අවධාරණය කරන්නට පෙර තම තමන්ගේ මට්ටමින් මේ කම්පිත අපරාධයේ යථාර්ථය සොයා ගැනීමට කටයුතු කිරීම මේ මොහොතේ වැදගත්ය.
අප කියන්නට යන්නේ මේ සමාජය ව්‍යසනයට ලක් කළ අපරාධ රාජ්‍යය නිර්මාණය වන්නේ දේශපාලනයේ පමණක් නොව පොලිසියේ සහ නීතියේ ද ආවරණය සහිතව බවය. අපරාධකරුවෙක් කොන්ත්‍රාත් ඝාතනයක් කළ විට ඇතිවන සමාජ කැළඹීම සමනය කිරීම සඳහා අත් අඩංගුවේ ඉන්නා සැකකරුවෙක් හෝ රැගෙන ගොස් වෙඩි තබා ඝාතනය කර එකට එක කිරීමෙන් සමාජයට කික් එකක් දී ඇත්ත ප්රශ්නය යටපත් කිරීමේ සැප මේ වනවිට රටට හොඳින් දැනෙමින් තිබේ.
ආණ්ඩුව අවසාන පාතාලයා ද මර්ධනය කරන සටනක ඉන්නා බව කියැවේ. අවසාන එකා ඉන්නේ කොතැන දැයි සොයාගෙන සැබෑ අවබෝධයක් ලබා ගත් පසු ඒ සම්බන්ධව නීති ප්‍රකාරව ක්‍රියාත්මක වීමට තරම් පෞරුෂයක් මේ ආණ්ඩුවට ලැබේවා යැයි ප්‍රාර්ථනා කරමු.
සමහර විට උන් ඉන්නවා ඇත්තේ අප කිසි කළෙකත් නොසිතූ තැන්වලය.







