කීර්ති ප්‍රනාන්දු –
හිස කෙස් සැකසීමට ගල්වන ලද ආලේපනයක් හේතුවෙන් කාන්තාවකගේ හිස කෙස් ගැලවී යාමේ සිද්ධියට සම්බන්ධ රූපලාවණ්‍යාගාරය විවෘත කර ඒ තුළ ඇති ආලේපන ද්‍රව්‍ය පරීක්ෂා කිරීමට අද (19) පෙරවරුවේ ගම්පහ පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීහු පැමිණියහ.
එහෙත් පොලිසිය ආවේ නැත. පොලිසියේ රාජකාරිය ඇහිරුන විට තමන්ගේ රාජකාරිය කර ගැනීමට නොහැකි වූ පාරිභෝගික සේවා නිලධාරීන් ආපසු හැරී ගියේය. පෙනෙන ලෙස පොලිසිය මේ මගහැරීම කරන්නේ අධිකරණයටත් උඩින් හිඳිමිනි. අධිකරණ නියෝග දෙකක් තිබිය දී පොලිසිය අදත් පාරිභෝගික සේවා අධිකාරියට සහා නොදි මගහැරියේය. පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් මින් පෙර අවස්ථා කීපයක දී පොලිසියෙන් ඉල්ලා තිබුණේ අධිකරණය ලබා දුන් නියෝගය අනුව මේ සැලොන් එක විවෘත කර පරීක්ෂා කිරීමට අවශ්‍ය තත්ත්වය සකස් කර දෙන ලෙසය. එහෙත් ඔවුන් එය සිදු නොකළ බව පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීහු අපට කීවේය.

දැන් අප හමුවේ ඇත්තේ අධිකරණයටත් වලංගු නැති මේ පොලිස් කේස් එක කුමක් ද යන්නය.
සිද්ධිය මතක් කරගන්න
හිස කෙස් සකසා ගැනිමට මිනුවන්ගොඩ සැලෝන් එකකට ගිය කාන්තවගේ හිසකෙස් මුලුමනින්ම ගැලවී ගියේය. වින්දිත කාන්තාව මෙම තත්ත්වයට මුහුණ දෙන්නේ පසුගිය 30 වැනිදා ය. ඇය එදිනම පොලිසියේ පැමිණිල්ලක් සටහන් කරන්නීය. එදිනම පොලිසිය මෙම සැලෝන් එකට යනවිට සැලොන් එකට ඉබි යතුරු දමා සැලෝන් එකේ ගෑනු නිවෙස්වලින්ද පලා ගොස් තිබිණි.
සිද්ධියෙන් වින්දිත කාන්තාව එදිනම මිනුවන්ගොඩ රෝහලට ඇතුළු වීමෙන් පසු ගම්පහ රෝහලට මාරු කර යවා තිබිණි. 31 වැනිදා රෝහලෙන් පිටව එන ඇයගේ වැඩිදුර ප්‍රකාශ සටහන් කරගන්නේ පසුගිය 01 වැනිදා ය. පසුගිය 02 දා පොලිසිය උසාවියට මේ සම්බන්ධව කරුණු වාර්තා කරන අතර මිනුවන්ගොඩ මහේස්ත්‍රාත්වරිය වූ ටී තේනබදු සිද්ධියට අදාල කාන්තාවන් තිදෙන් අත් අඩංගුවට ගැනිමට සෝදිසි වරෙන්තුවක් නිකුත් කරන්නීය.
මීට අමතරව පාරිභෝගික සේවා අධිකාරියට රූපලාවණ්‍ය ද්‍රව පරීක්ෂා කර බලා වහාම අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස නියෝග කරන්නීය. එහෙත් අධිකරණ නියෝග ඉටු වන්නේ නැත.

පොලිසියේ හැසිරීම
සිද්ධියට අදාල සැලොන් කඩේ හිමිකාර කාන්තාව මිනුවන්ගොඩ පොලිසිය සමග කුමක් හෝ ගනුදෙනුවක් ඇති බවට මේ සිද්ධිය ආරම්භයේ සිටම චෝදනා එල්ල විය. එම චෝදනාවේ සැකය සාධාරණය. සැලොන් කඩේ හිිමි ගැහැණිය සහ ඒ ගැහැණියගේ දියණිය යැයි හඳුනාගත් තැනැත්තිය අත් අඩංගුවට ගැනීමට මිනුවන්ගොඩ පොලිසියට තවමත් හැකියාවක් ලැබී නැත.
රූපලාවණ්‍යාගාරය තුළ ඇති ආලේපන ද්‍රව්‍ය පරීක්ෂා කිරීම සඳහා පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරින්ට සැලෝන් එක විවෘත කර දෙන ලෙස මිනුවන්ගොඩ මහේස්ත්‍රාත්වරිය පොලිසියට අධිකරණය නියෝගයක් තිබිණි. එහෙත් ඊයේ ( 18) එම සිද්ධියට අදාළ නඩුව නැවත කැඳවූ අවස්ථාවේදී පොලිසිය අධිකරණය හමුවේ කීවේ මෙම රූපලාවණ්‍යාගාරය විවෘත කිරීම සඳහා එහි හිමිකාරිය තවමත් අත්අඩංගුවට ගැනීමට නොහැකි වී ඇති බවය. තවමත් ඇය සහ සේවිකාවක් සැඟවී සිටින බව පොලිසිය අධිකරණයට දැන්වීය .
එහිදී රූපලාවණ්‍යාගාරය විවෘත කිරීමට නියෝගය ලබා දී ඇත්තේ අධිකරණය බැවින් එහි ඉබි යතුරු කඩා විවෘත කර පරීක්ෂා කිරීමට එහි හිමිකාරිය අවශ්‍ය නොවන බව මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ටී. තෙනබදු අවධාරණය කළාය. දැන් පොලිසියට සැලොන් කඩේ විවෘත කිරිම සඳහා අධිකරණ නියෝග දෙකක් ලැබී ඇත. පොලිසිය සැලෝන් එක විවෘත කර දුන් පසු පාරිභෝගික සේවා අධිකාරිය එහි ඇති ආලේපන ද්‍රව්‍ය පරීක්ෂා කර අධිකරණයට වාර්තා කරන ලෙස ලබා දිය යුතු බවට ද අධිකරණ නියෝගයක් නිකුත් විනි. .
අද සිද්ධිය
ඒ අනුව පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් අද (19)දින පෙරවරුවේ රූපලාවණ්‍යාගාරය පරීක්ෂා කිරීමට පැමිණියහ. එහෙත් ඔවුන්ට රූපලාවන්‍යාගාරයේ ඉබි යතුරු කඩා විවෘත කිරීමට පොලිසියේ සහාය ලබා ගැනීමට හැකියාවක් ලැබුනේ නැත. ඔවුහු හිස් අතින් ආපසු ගියහ.
අප මේ පිළිබඳව මිනුවන්ගොඩ පොලිසියෙන් කළ විමසීමේදී එහි උසස් නිලධාරියකු පැවසුවේ පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් පොලිස් ස්ථානයට පැමිණි බවත් ඒ වන විට පොලිසියේ නිලධාරීන් සහ නිලධාරිනියන් මැතිවරණ රාජකාරී සඳහා පිටව ගොස් සිටි බැවින් ප්‍රමාණවත් නිලධාරීන් ඒ වන විට පොලිසිය තුළ නොසිටි බැවින් රූපලාවන්‍යාගාරයේ විමර්ශන කටයුතු සඳහා පොලිස් නිලධාරීන්ගේ සහයෝගය ලබාදීමට නොහැකිව අපහසුතාවයකට පත්වු බවය .
කෙසේ වෙතත් මැතිවරණ දින කිහිපයෙන් පසුව එම විමර්ශන කටයුතු සිදු කරන බව ද එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය .
පොලිසියේ සම්බන්ධය
ඊයේ අධිකරණයේ දී තවත් සිද්ධියක් මතු වූවේය. මෙම සිද්ධියට අදාලව සැලෝන් එක හිමිකාරිය අත්අඩංගුවට ගැනීම ඇතුළු විමර්ශන කටයුතු සිදු කරන මිනුවන්ගොඩ පොලිසියේ නිලධාරීන්ට පොලිස් මූලස්ථානයේ සහකාර පොලිස් අධිකාරිවරයකු ලෙස හදුන්වන අයෙකු දුරකතන ඇමතුම් ලබාදෙමින් දැඩි බලපෑම් සිදුකරන බව ඊයේ (18) මිනුවන්ගොඩ පොලිසිය අධීකරණයට දැනුම් දුන්නේය.
තමන් සහකාර පොලිස් අධිකාරිවරයෙකු ලෙස හඳුන්වන මෙම පුද්ගලයා විසින් දුරකථන ඇමතුම් කීපයක්ම ලබාදෙමින් මිනුවන්ගොඩ පොලීසියේ නිලධාරීන්ට ප්‍රශ්නගත සැලොන් කඩේ සිදුවීම හා එහි හිමිකාර කාන්තාව පිළිබඳව සිදුකරන පොලිස් විමර්ශන නතර කරන ලෙසට දැනුම් දෙන බව වැඩිදුරටත් පොලිසිය අධිකරණයට වාර්තා කළේය.
මෙම අවස්ථාවේදී පොලිසිය විසින් ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගත් මිනුවන්ගොඩ මහේස්ත්‍රාත්වරිය මෙම දුරකථන ඇමතුම් පිළිබඳ වාර්තාවක් ලබාගෙන අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස නියෝග කළාය.
අපට පෙනෙන්නේ අධීකරණ නියෝග ක්‍රියාත්මක කරවීම වැලැක්වෙන තරමටම පොලිසියට ඇති කර ඇති පෙළඹවීම වැඩිය. ඒ කෑල්ල ගැන නම් අප කවුරුත් උනන්දුය.







